දෘෂ්ටි විශුද්ධිය

star_outline

13 වන පාඩම

නාම රූපයන් ඇති සැටියට දක්නා වූ ආත්ම දෘෂ්ටිය දුරුකරන්නා වූ ඥානය දෘෂ්ටි විශුද්ධිය ය. ලක්ෂණය - රසය - ප්‍ර‍ත්‍යුපස්ථානය - පදස්ථානය යන මොවුන්ගේ වශයෙන් නාම - රූපයන් වෙන් කොට දැන ගැනීම දෘෂ්ටි විශුද්ධිය යි ද කිය යුතු ය.

ලක්ෂණය යනු ඒ ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාවය ය. පරමාර්ථ ධර්මයාගේ ශරීරයත් ඒ ලක්ෂණය ම ය.

එක් එක් පරමාර්ථ ධර්මයකට එයින් සිදු කරන කෘත්‍යයක් ද ඇත්තේ ය. එසේ ම ඒ ඒ කෘත්‍යය සිදුකළ හැකි ශක්තියක් ද පරමාර්ථ ධර්මයන්ට ඇත්තේ ය. ඒ ශක්තියට ‘සම්පත්තිය’ යි ද කියනු ලැබේ. ‘රසය’ යි කියනුයේ ඒ කෘත්‍ය සම්පත්ති දෙකට ය.

පරමාර්ථ ධර්මයකින් සිදු කරන කෘත්‍යය නිසා ඇති වන ඵලයක් ද ඇත්තේ ය. ඒ ඵලයට ‘ප්‍ර‍ත්‍යුපස්ථානය’ යි කියනු ලැබේ. තව ද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයා ගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේ ය. ඒ වැටහෙන ආකාරය ද ‘ප්‍ර‍ත්‍යුපස්ථානය’ යි කියනු ලැබේ.

ඒ ඒ පරමාර්ථ ධර්මය ඇතිවීමේ ප්‍ර‍ධාන වූ ද, ප්‍ර‍කට වූ ද හේතුවට ‘පදස්ථානය’ යි කියනු ලැබේ. එයට ‘සමීප හේතුවය’ යි ද කියනු ලැබේ.

මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නෙහි උෂ්ණ ස්වභාවය මෙන් දත යුතු ය. රසය ගින්නෙහි දිලිසෙන ස්වභාවය මෙන් දත යුතු ය. ප්‍ර‍ත්‍යුපස්ථානය ගින්නෙහි දුම ඇති කරන ස්වභාවය මෙන් දත යුතු ය. පදස්ථානය ගින්න ඇති කරන දර මෙන් දත යුතු ය. ගින්නේ ලක්ෂණය උෂ්ණ ස්වභාවය ය. රසය දිලිසෙන ස්වභාවය හෝ පැසවන ස්වභාවය ය. ගින්නේ ප්‍ර‍ත්‍යුපස්ථානය දුම් දැමීම ය. පදස්ථානය දරය.

ලක්ෂණාදි කරුණු සතරින් ප්‍ර‍ධාන කාරණය ලක්ෂණය ය. එය දැන ගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය දැන ගත්තා වන්නේ ය. රසය - ප්‍ර‍ත්‍යුපස්ථාන - පදස්ථානයන් ද දැන ගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය ඉතා හොඳින් දැන ගත්තා වන්නේ ය. එබැවින් අටුවාවල පරමාර්ථ ධර්ම හැඳින්වීමේ දී සැම සංස්කාරයක ම ලක්ෂණාදි කරුණු සතර දක්වා තිබේ.

විශුද්ධි සත අතුරෙන් ශීල - චිත්ත විශුද්ධි දෙක විදර්ශනාවේ භූමිය ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි විශුද්ධි පස විදර්ශනාවේ ශරීරය ය. මූල විශුද්ධි දෙක ඇති කර ගත් යෝගාවචරයා විසින් ඉන්පසු දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගැනීම සඳහා නාම - රූපයන් හැඳින ගැනීමට උත්සාහ කළ යුතු ය. එය කළ යුත්තේ ද භාවනාවෙන් ම ය. ශමථ යානිකයන් විසින් තමා ලබා සිටින ධ්‍යානය මුල් කර ගෙන, නාම-රූප පිරිසිඳ ගැනීම ආරම්භ කළ යුතු ය. විදර්ශනා යානිකයා විසින් කේසාදි කොට්ඨාසයන් මුල් කර ගෙන පළමුවෙන් රූප කොට්ඨාසය සොයා ගෙන පසුව නාම කොට්ඨාසය සොයා ගත යුතු ය. නාම රූප පිරිසිඳ දැන ගැනීම ද ඇතැම් යෝගාවචරයන් සංක්ෂේප ක්‍ර‍මයෙන් ද, ඇතැම් යෝගාවදරයන් විස්තාර ක්‍ර‍මයෙන් ද කරනු ලැබේ.

සංක්ෂේපයෙන් කරන යෝගාවචරයා: මම ය, සත්ත්වයා ය, පුද්ගලයා ය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහය විමසා නැමෙන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක, මේ ධර්ම සමූහය නාමය ය කියා සිතින් වෙන් කර ගනී. රුප්පන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක මේ ධර්ම සමූහය රූපය කියා සිතින් වෙන් කර ගනී. නාමය නාමය ම මිස, රූපය නො වේය යි ද, රූපයත් රූපය මිස නාමය නොවේ යයිද, නාමය නාමය මිස සත්ත්වයෙක් නො වේය - මම නො වේය යි ද, රූපයත් රූපයම මිස සත්ත්වයෙක් නොවේය. මම නොවේ යයි ද, මෙහි සත්ත්ව පුද්ගල නො වන නාම රූප දෙකොට්ඨාසය හැර පින් ප ව්කරන සැප දුක් විඳින මම ය කියාද, මනුෂ්‍යයෙක් ය දෙවියෙක් ය කියා ද, අන් කිසිවෙක් මේ නාම - රූප සමූහය අතර නැතය කියා ද දැන ගනී. මෙසේ නාම-රූප දෙක මැනවින් දැන ගැනීම සංක්ෂේපයෙන් නාම රූප පිරිසිඳ ගැනීම ය.

මම ය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහයෙහි නාමය යි කියනුයේ චිත්ත - චෛතසික සමූහයට ය. ඒවා ඇතිවන්නේ චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - හදය යන වස්තූන්හි ය. වස්තූන්හි ඇති වන ඒ ධර්ම සියල්ල ම ඇතිවන්නේ රූප - ශබ්දා දි කිසි අරමුණක් ගනිමින් ය. ඒවා ඇති වන්නේ අරමුණ දෙසට හැරී අරමුණ දෙස බලා ගෙන ඇති වන්නාක් මෙනි. නැමීම යයි කියනුයේ අරමුණට යොමු වී සිටින ස්වභාවය ය. නමන ලක්ෂණ යයි කියන්නේ ඒ ස්වභාවයට ය. නාම ධර්මයන්ගේ ඇති වීමට ස්ථාන වන රූපයන්හි ඒ අරමුණට ඇදෙන නැමෙන ස්වභාවය නැත. එබැවින් ඒවා නාම නො වේ. ඒවා ශීතෝෂ්ණාදිය කරණකොට ගෙන විකාරයට පැමිණෙන්නේ ය. රුප්පනය යි කියනුයේ ඒ විකාරයට පැමිණීම ය. ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන බව රූපයේ ලක්ෂණය ය.

නුවණ අධික තැනැ්තතා සංක්ෂේපයෙන් නාම-රූප දෙක පිරිසිඳ ගැන්මෙන් ම සංඥා - චිත්ත - දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් සමග සත්කාය දෘස්ටිය දුරු කර ගැනීමට සමත් වේ. ආත්ම නො වන නාම-රූප ධර්මයන් ආත්ම යි ගැනීම දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා ධර්මය පිළිගැනීමෙන් ද දෘෂ්ටි විපර්‍ය්‍යාසය යටපත් වේ. සංඥා - චිත්ත විපර්‍ය්‍යාස දෙක්හි ප්‍ර‍හාණය, නාම-රූප පිරිසිඳ දැනගැනීමෙන් ම මිස අන් ක්‍ර‍මයකින් සිදු නො වේ. නාම-රූප දැනීම පිරිසිදු වනතුරු සංඥා - චිත්ත විපර්‍ය්‍යාස ප්‍ර‍හාණය නො වේ. ඒ දෙක පවත්නා තුරු නාම-රූප දැනීම පිරිසිදු වුයේ නො වේ.

විස්තර වශයෙන් නාම-රූප පිරිසිඳින තැනැත්තා විසින් ස්කන්ධ - ධාතු - ආයතනාදි ක්‍ර‍මවලින් නාම-රූප පිරිසිඳ ගනු ලැබේ. ආත්මයක් ඇතය යන සංඥා - චිත්ත - දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් දුරුවන තෙක් ම නාම - රූප ධර්ම දැන ගැනීම දියුණු කළ යුතු ය.

නාම -රූපයන් හොඳින් දැනගත්තා වූ යෝගාවචරයා හට නාම-රූපයන් හැර අන් කිසිවක් නැති බව පෙනීමෙන් “ශරීරය තුළ නාම-රූපයන් ඒ ඒ වැඩවල යොදවන ආත්මයක් ඇත: ඒ ආත්මය සියලු ක්‍රියාකරනවාය - සුවදුක් විඳිනවාය - ජාතියෙන් ජාතියට යනවා ය” යන දෘෂ්ටිය දුරු වේ. නාමයට හෝ රූපයට තනි තනිව කිසි ක්‍රියාවක් නො කළ හැකි බව පෙනීමෙන් නාමය ම හෝ රූපය හෝ ඒ දෙක ම හෝ ආත්ම යයි ගන්නා දෘෂ්ටිය දුරු වේ.