සත්ත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාව ය. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පඤ්චම ධ්‍යානය පමණෙකි. උපේක්ෂාව වඩා පඤ්චම ධ්‍යානය ලැබිය හැක්කේ ද කලින් අන් භාවනාවකින් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයන් ලබා ඇති යෝගාවචරයනට පමණෙකි.
උපේක්ෂාව වඩනු කැමතියන් විසින් ලෝක තත්ත්වය නුවණින් සලකා සත්ත්වයන් ගැන මධ්‍යස්ථ විය යුතු ය. ලාභාලාභාදි ලෝක ධර්ම අට සැම සත්ත්වයන්ට ම පැමිණෙන්නේ ය. ලෝකස්වභාවය කෙනකුගේ කැමැත්තේ සැටියට වෙනස් නොවන්නේ ය. “සැම දෙනා ම ලෝක ධර්මයට යටත් වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ සැටියට පැවැත්වීමට සමතෙක් නැත. මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මානුරූපව සුව දුක් ලබන්නෝ ය. නො මග යාමෙන් සත්ත්වයෝ දුකට පත් වන්නාහ. සුමග ගමන් කිරීමෙන් සැපතට පත් වන්නාහ. කෙනකු විසින් සුවපත් වෙත්වා යි පැතීමෙන් ඔවුහු සුවපත් නො වන්නාහ. දුකින් මිදෙත්වා යි පැතීමෙන් දුකින් නො මිදෙන්නාහ. එබැවින් ලෝක විචාරණය පලක් නැති මහන්සි වීමකි: මෙසේ ලෝක තත්ත්වය සලකා “මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මය පරිදි සුව දුක් ලබන්නාහ” යි උපේක්ෂාව වැඩිය යුතු ය.