මුදිතා භාවනාව

සුඛිත පුද්ගලයන් ගැන සතුටුවන ස්වභාවය මුදිතා භාවනාව ය. ධ්‍යාන ලැබීම සඳහා එය කරනු කැමති යෝගාවචරයා විසින් ප්‍රිය මනාප දූ දරුවන් ඇතිව යහපත් නෑ මිතුරන් ඇතිව, සුන්දර ගෘහ-යාන-වාහන-වස්ත්‍රාභරණ-ආහාර-පාන ඇතිව, නිරෝගීව, කාය චිත්ත, සුඛයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයකු අරමුණට ගෙන “මොහු කිසිවකින් අඩු පාඩුවක් නැතුව, කිසි කාය චිත්ත, පීඩාවක් නැතිව, සුවසේ වාසය කරනවා. අනේ හොඳා! අනේ හොඳා!!” යි මුදිතා භාවනාව කළ යුතුය. මෙසේ එක් කෙනෙකුගෙන් පටන් ගෙන ක්‍ර‍මයෙන් මුදිතාව මහත් කළ යුතු ය. මොහු නිසා මොහුගේ අඹු දරුවෝ සැපසේ වෙසෙන්නාහ යි සලකා ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මොහු නිසා මොහුගේ නෑ මිතුරෝ අසල්වැසියෝ සුවසේ වෙසෙන්නාහ යි ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මෙසේ ක්‍ර‍ම ක්‍ර‍මයෙන් තමාගේ හිතවතුන් කෙරෙහි ද, මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද මුදිතාව පැවැත්විය යුතු ය. සෑම දෙනා කෙරෙහි ම මුදිතාව සමව පැවැත් විය හැකි තත්ත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධ්‍යානය ලැබිය හැකි ය.

සාමාන්‍ය ක්‍ර‍මයට මුදිතාව වඩනු කැමැතියන් විසින් සත්ත්වයන්ගේ සුඛිත භාවය කල්පනා කර “මේ සත්ත්වයෝ සුවසේ වෙසෙන්නාහ. අනේ හොඳය: අනේ හොඳය” කියා මුදිතාව පැවැත්විය යුතු ය. සුඛිතයකු වශයෙන් නො සැලකිය හැකි සත්ත්වයෙක් ද නැත. බ්‍ර‍හ්ම ලෝකයෙහි මහානුභාව සම්පන්න බ්‍ර‍හ්ම රාජයෝ ප්‍රීතිය ම ආහාර කොට ඉතා සුවසේ කල්ප දහස් ගණන් ජීවත් වන්නාහ. චාතුර්මහාරාජිකාදි දිව්‍ය ලෝකයන්හි බොහෝ දෙවිවරු රත්නයන් ගෙන් බබලන පරම සුන්දර විමානයන්හි අප්සරාවන් පිරිවරා ඉන්ද්‍රියයන් පිනවමින් සුවසේ වෙසෙන්නාහ. මිනිස් ලොව රජවරු සිටුවරු හා සාමාන්‍ය ධනවත්හු ද හොඳින් කා බී ඇඳ පැළඳ ස්වකීය ඥාති මිත්‍ර‍යන් හා ප්‍රීතියෙන් වෙසෙන්නාහ. දුප්පත් ජනයා ද කෙසේ හෝ ඔවුන්ට උවමනා ආහාර පානාදිය ලබා ගෙන ප්‍රීති වන්නාහ. ආපායික සත්ත්වයෝ ද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීති වන්නාහ. මෙසේ ඒ ඒ සත්ත්වයන්ගේ සුඛිතත්වය නුවණින් සලකා සියල්ලන් ගැන ම මුදතාව වැඩිය හැකිය.