කරුණා භාවනාව

තමාට දුක් ඇතිවීම නො ඉවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නො ඉවසන ස්වභාවය, දුඃඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පා වන ස්වභාවය කරුණාව ය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාව ය.

එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුවෙන් අත්පා කැඩීමක් නිසා හෝ සුව නො වන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කර ගත නො හෙන, අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුඃඛියකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා “මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදේවා! මිදේවා!” යි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතු ය. ඉක්බිති දුකට පත් තමාගේ ප්‍රිය පුද්ගලයන් කෙරෙහි ද මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද කරුණාව පැවැත්විය යුතු ය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සම කරුණාව ඇති කර ගෙන භාවනාවෙහි යෙදෙන්නවුන්ට දුඃඛිත සත්ත්වයන් අරමුණු කොට කරුණා ධ්‍යානය උපදී.

සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්ත්වයන්ගේ දුක් නුවණින් සලකා “මේ සත්ත්වයෝ මේ දුක්වලින් මිදෙත්වා!” යි කරුණාභාවනාව කළ යුතු ය. කරුණාවට ලක් කර ගත නො හෙන සත්ත්වයෙක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්ත්වයන්ට ද බොහෝ දුක් නැත්තේ ය. නොයෙක් පව් කම් කරමින් පස්කම්සැප විඳිමින් ප්‍රීති වන ජනයා සැප විඳින්නන් සේ පෙනෙතත් මරණින් මතු ඔවුහු මහ දුකට පත්වන්නාහ. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය. මහත් සම්පත්තියෙන් කල් යවන සිටුවරු රජවරු ද කලක දී මැරී ඒ සම්පත්තියෙන් පිරිහෙන්නාහු ය. දහස් ගණන් දෙවඟනන් පිරිවරාගෙන සිත්කලු විමන්වල හා නන්දනාදි උයන්වල කම් සැපයෙන් ප්‍රීති වන දෙවිවරු ද, මහ ගිනිකඳන් සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍ර‍හ්ම රාජයෝ ද පින් කෙළවර වීමෙන් ඇද වැටෙන්නාහ. මෙසේ නුවණින් සලකා සැම දෙනා කෙරෙහි ම “මේ සත්ත්වයෝ දුකින් මිදෙත්වා” යි කරුණාව පැවැත්විය යුතු ය.