2. 3. 6.
ඛය සූත්‍රය
572. “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද ඒ මාර්ගය ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද? යම් මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්ද, (ඔව්හුය) ඒ සත කවරහුදයත්? (මේ ඡේදය පබ්බත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න) මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි, කෙසේ වඩනලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ සප්ත බොධ්‍යංගයෝ තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද?”
“උදායි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු, පැතිරුණු (විපුල), මහත් බවට පත් (මහග්ගත), අප්‍රමාණ වූ, ව්‍යාපාද රහිත (අබ්‍යාපජ්ඣ) සති සම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු, පැතිරුණු, මහත් බවට පත්, අප්‍රමාණ වූ, ව්‍යාපාද රහිත සති සම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු, පැතිරුණු, මහත් බවට පත්, අප්‍රමාණ වූ, ව්‍යාපාද රහිත උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු, පැතිරුණු, මහත් බවට පත්, අප්‍රමාණ වූ, ව්‍යාපාද රහිත උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි. තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් කර්මය ප්‍රහීණ වෙයි. කර්මය ප්‍රහීණ වීමෙන් දුක ප්‍රහීණ වෙයි. උදායි, මෙසේ තෘෂ්ණාව ක්ෂය වීමෙන් කර්මය ක්ෂය වෙයි. කර්මය ක්ෂය වීමෙන් දුක ක්ෂය වෙයි.”
2. 3. 7.
නිරෝධ සූත්‍රය
573. “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නිරුද්ධ කිරීම පිණිස පවතී ද, ඒ මාර්ගය, ඒ පිළිවෙත වඩව්. මහණෙනි, තෘෂ්ණාව නිරුද්ධ කිරීම පිණිස පවතින්නේ කවර මාර්ගයක් ද, කවර පිළිවෙතක් ද? එනම් මේ සත් බොජ්ඣඞ්ගයෝ ය. ඒ සත කවරහු ද යත්: සති සම්බොජ්ඣඞ්ගය -පෙ- උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ තෘෂ්ණාව නිරුද්ධ කිරීම පිණිස පවතිත් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සති සම්බොජ්ඣඞ්ගය වඩයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ තෘෂ්ණාව නිරුද්ධ කිරීම පිණිස පවතිත්.”
2. 3. 8.
නිබ්බෙධ සූත්‍රය
574. “මහණෙනි, නුඹලාට කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි (නිබ්බේධ භාගිය) මාර්ගය දේශනා කරන්නෙමි, එය මනා කොට අසව්. මහණෙනි, කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි මාර්ගය කවරේද? යම් මේ බොජ්ඣංගයෝ සත්දෙනෙක්වෙත්ද? (ඔව්හුය) ඒ සත කවරහුද යත්? (මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. 2722 වෙනි පිට) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, බොජ්ඣංගයෝ සත්දෙන කෙලෙස් බිඳ දැමීම පිණිස පවත්නාහුද” යනුයි.
“උදායි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු, පැතිරුණු (විපුල), මහත් බවට පත් (මහග්ගත), අප්‍රමාණ වූ, ව්‍යාපාද රහිත (අබ්‍යාපජ්ඣ) සති සම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙම සති සම්බොජ්ඣඞ්ගය වඩන ලද සිතින් පෙර කිසි දිනෙක නොබිඳින ලද, නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි, පලා දමයි. පෙර කිසි දිනෙක නොබිඳින ලද, නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි, පලා දමයි. පෙර කිසි දිනෙක නොබිඳින ලද, නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි, පලා දමයි -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු, පැතිරුණු, මහත් බවට පත්, අප්‍රමාණ වූ, ව්‍යාපාද රහිත උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙම උපේක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩන ලද සිතින් පෙර කිසි දිනෙක නොබිඳින ලද, නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි, පලා දමයි. පෙර කිසි දිනෙක නොබිඳින ලද, නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි, පලා දමයි. පෙර කිසි දිනෙක නොබිඳින ලද, නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි, පලා දමයි. උදායි, මෙසේ වඩන ලද, මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ (කෙලෙස්) විනිවිද බිඳීම පිණිස පවතිත්.”
2. 3. 9.
එකධම්ම සූත්‍රය
575. “මහණෙනි, යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු නැවත නැවත පුරුදු කරන ලද්දාහු සත්වයන් සසර බැඳ තබන (සංයෝජනීය) ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන යම්සේද එබඳු අන් එකම ධර්මයකුදු මම නුවණැසින් නොදකිමි. ඒ සත කවරේදයත්? (මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. 2722 පිට) “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස පවතිත්. මහණෙනි, සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු (සංයෝජනීය ධර්මයෝ) කවරහුද? මහණෙනි, ඇස සංයෝජනීය ධර්මයකි. මේ ඇසෙහි ඒ සංයෝජනයයි කියන ලද සත්වයන් සසර බැඳ තබන්නාවූ ඉතා තදින් අල්ලා ගන්නාවූ ධර්මයෝ උපදිත්. “මහණෙනි, කන සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, නාසය සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, දිව සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, කය සංයෝජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, සිත සංයෝජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැසගැනීම් උපදිත්. මහණෙනි, මොව්හු සංයෝජනයන්ට අරමුණු වන ධර්මයෝ යයි කියනු ලැබෙත්.”