2. 3. 6.
ඛය සූත්‍රය
207. “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද ඒ මාර්ගය ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද? යම් මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්ද, (ඔව්හුය) ඒ සත කවරහුදයත්? (මේ ඡේදය පබ්බත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න) මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි, කෙසේ වඩනලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ සප්ත බොධ්‍යංගයෝ තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද?”
“උදායි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ ධම්මවිචය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ විරිය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. තෘෂ්ණාව ප්‍රහීණවීම නිසා කර්මය ප්‍රහීණවෙයි. කර්මය ප්‍රහීණවීම නිසා දුක ප්‍රහීණවෙයි. උදායි! මෙසේ වනාහි තෘෂ්ණාව, ක්ෂයවීමෙන් කර්මය ක්ෂයවෙයි. කර්මය ක්ෂයවීමෙන් දුක ක්ෂයවේයයි” වදාළසේක.
2. 3. 7.
නිරොධ සූත්‍රය
208. [2] “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද ඒ මාර්ගය, ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද? යම් මේ බොජ්ඣංග ධර්මයෝ සත්දෙනෙක් වෙත්ද (ඔව්හුය), ඒ සත කවරහුද? [3] “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුයි. [4] “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණා වූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ බොධ්‍යංගයෝ සත්දෙන තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතිත් යයි” වදාළසේක.
2. 3. 8.
නිබ්බෙධ සූත්‍රය
209. “මහණෙනි, නුඹලාට කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි (නිබ්බේධ භාගිය) මාර්ගය දේශනා කරන්නෙමි, එය මනා කොට අසව්. මහණෙනි, කෙලෙස් බිඳ දැමීම් පක්ෂයෙහි සිටි මාර්ගය කවරේද? යම් මේ බොජ්ඣංගයෝ සත්දෙනෙක්වෙත්ද? (ඔව්හුය) ඒ සත කවරහුද යත්? (මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. 2722 වෙනි පිට) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, බොජ්ඣංගයෝ සත්දෙන කෙලෙස් බිඳ දැමීම පිණිස පවත්නාහුද” යනුයි.
“උදායී, මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත සති සම්බොජ්ඣංගය වඩයිද හෙතෙම සති සම්බොජ්ඣංගය වඩනලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලාදමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි, පලා දමයි. “විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි. “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත විරිය සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම විරිය සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි. “විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත පීති සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පීති සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි. “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි. “විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත සමාධි සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම සමාධි සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි. “විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ මහත්වූ, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ ව්‍යාපාද රහිත උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, හෙතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන ලද සිතින් පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ලෝභ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද ද්වේෂ සමූහය බිඳ දමයි. පලා දමයි. පෙර නොබිඳින ලද, පෙර නොපලන ලද මෝහ සමූහය බිඳ දමයි. පලා දමයි. උදායි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ, සප්ත බොධ්‍යංගයෝ නිවන් පිණිස පවතින්නාහ යනුයි”
2. 3. 9.
එකධම්ම සූත්‍රය
210. “මහණෙනි, යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු නැවත නැවත පුරුදු කරන ලද්දාහු සත්වයන් සසර බැඳ තබන (සංයෝජනීය) ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන යම්සේද එබඳු අන් එකම ධර්මයකුදු මම නුවණැසින් නොදකිමි. ඒ සත කවරේදයත්? (මේ ඡේදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි. 2722 පිට) “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, “මහණෙනි මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස පවතිත්. මහණෙනි, සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු (සංයෝජනීය ධර්මයෝ) කවරහුද? මහණෙනි, ඇස සංයෝජනීය ධර්මයකි. මේ ඇසෙහි ඒ සංයෝජනයයි කියන ලද සත්වයන් සසර බැඳ තබන්නාවූ ඉතා තදින් අල්ලා ගන්නාවූ ධර්මයෝ උපදිත්. “මහණෙනි, කන සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, නාසය සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, දිව සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, කය සංයෝජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැස ගැනීම් උපදිත්. මහණෙනි, සිත සංයෝජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයෝජනයන්ගෙන් බැඳ ගැනීම්, බැසගැනීම් උපදිත්. මහණෙනි, මොව්හු සංයෝජනයන්ට අරමුණු වන ධර්මයෝ යයි කියනු ලැබෙත්.”