1. 8. 9.
ලෝක සූත්‍රය
82. එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ‘ලෝකය, ලෝකය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?” යනුවෙනි.
“මහණ, නැසෙන (බිඳෙන) හෙයින් ලෝකයයි කියනු ලැබේ. කුමක් නැසේද යත්: මහණ, ඇස වනාහි නැසෙයි. රූපයෝ නැසෙත්. චක්ඛු විඤ්ඤාණය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නැසෙයි. කන නැසෙයි. ශබ්දයෝ නැසෙත්. සෝත විඤ්ඤාණය නැසෙයි. සෝත සම්ඵස්සය නැසෙයි. සෝත සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නැසෙයි. නාසය නැසෙයි. ගන්ධයෝ නැසෙත්. ඝාණ විඤ්ඤාණය නැසෙයි. ඝාණ සම්ඵස්සය නැසෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නැසෙයි. දිව නැසෙයි. රසයෝ නැසෙත්. ජිව්හා විඤ්ඤාණය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නැසෙයි. කය නැසෙයි. ස්පර්ශයෝ නැසෙත්. කාය විඤ්ඤාණය නැසෙයි. කාය සම්ඵස්සය නැසෙයි. කාය සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නැසෙයි. සිත නැසෙයි. ධර්මයෝ නැසෙත්. මනෝ විඤ්ඤාණය නැසෙයි. මනෝ සම්ඵස්සය නැසෙයි. මනෝ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නැසෙයි. මහණ, නැසෙන හෙයින් වනාහි ලෝකයයි කියනු ලැබේ” යි වදාළ සේක.
1. 8. 10.
ඵග්ගුණ සූත්‍රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් ඇසකින් පනවන්නෙක් (දක්වන්නෙක්) පනවන්නේ ද, එබඳු ඇසක් ඇත්තේද? ස්වාමීනි, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් කනකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කනක් ඇත්තේද? ස්වාමීනි, … යම් නාසයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු නාසයක් ඇත්තේද? ස්වාමීනි, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් දිවකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු දිවක් ඇත්තේද? ස්වාමීනි, … යම් කයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කයක් ඇත්තේද? ස්වාමීනි, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් සිතකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු සිතක් ඇත්තේද?” කියායි.
“ඵග්ගුන, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් ඇසකින් පනවන්නෙක් (දක්වන්නෙක්) පනවන්නේ ද, එබඳු ඇසක් නැත්තේමය. ඵග්ගුන, … යම් කනකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කනක් නැත්තේමය. ඵග්ගුන, … යම් නාසයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු නාසයක් නැත්තේමය. ඵග්ගුන, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් දිවකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු දිවක් නැත්තේමය. ඵග්ගුන, … යම් කයකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු කයක් නැත්තේමය. ඵග්ගුන, සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්ග ඇති, කෙළවර කරන ලද සසර වට ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිනිවියාවූ අතීත බුදුවරයන් වහන්සේලා යම් සිතකින් පනවන්නෙක් පනවන්නේ ද, එබඳු සිතක් නැත්තේමය” යි වදාළ සේක.
අටවැනි ගිලාන වර්ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
ගිලාන නමින් සූත්‍ර දෙකක් ද, රාධ නමින් තවත් සූත්‍ර තුනක් ද, අවිජ්ජා නමින් සූත්‍ර දෙකක් ද, භික්ඛු, ලෝක, ඵග්ගුන යන සූත්‍ර ද කියන ලදී.