1. 14. 1.
1. දෙවදහ සූත්‍රය
134. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම්වූ ශාක්‍ය රජදරුවන්ගේ නියම්ගමෙක්හි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, මම සියළු භික්ෂුන්ටම සවැදෑරුම් වූ ස්පර්ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළ යුතුයයි නොකියමි. මහණෙනි, මම වනාහි සියළුම භික්ෂුන්ට සවැදෑරුම් වූ ස්පර්ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු නොකළ යුතුයයි නොකියමි.
මහණෙනි යම් ඒ භික්ෂූහු රහත් වූවාහු ක්ෂය කළ ආශ්‍රව ඇත්තාහු වැස නිමවන ලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාහු සතරමගින් කරන ලද කටයුතු ඇත්තාහු බහා තබන ලද ස්කන්ධාගාර ඇත්තාහු, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇත්තාහු ක්ෂයකළ භවසංයෝජන ඇත්තාහු මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාහු වෙත්ද, මහණෙනි, මම ඒ භික්ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔවුන් විසින් අප්‍රමාදව කටයුතු කරන ලදී. ඔවුහු ප්‍රමාද වන්ට සුදුස්සෝ නොවෙත්.
“මහණෙනි, යම් ඒ භික්ෂූහු වනාහි ශෛක්ෂවුවාහු නොපැමිණි අර්හත්වය ඇත්තාහු නිරුතතරවූ යොගක්ෂෙමය (නිර්වාණය) ප්‍රාර්ථනා කරමින් වාසය කෙරෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ට මම සවැදෑරුම්වූ ස්පර්ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. ඊට හේතු කවරේද? “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ මනාපවූද අමනාපවූද රූප ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.
“මහණෙනි, කනින් දත යුතු මනාප වූ ද අමනාප වූ ද ශබ්දයෝ ඇත්තාහ. ඔවුහු නැවත නැවත ස්පර්ශ වෙමින් මොහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටිත්. සිත හාත්පසින් මැඩ නොගැනීම හේතුකොටගෙන නොහැකිළුණු, පටන්ගත් වීර්යය ඇති වෙයි. නුමුළා වූ එළඹ සිටි සිහිය ඇති වෙයි. දාහ රහිත වූ සංසිඳුණු (නාම) කය ඇති වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්ත වෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්ෂූන් විසින් ස්පර්ශ ආයතන සයෙහි අප්‍රමාදයෙන් කටයුතු කළ යුතු යයි කියමි. මහණෙනි, නාසයෙන් දත යුතු මනාප වූ ද අමනාප වූ ද ගන්ධයෝ ඇත්තාහ. -පෙ- මහණෙනි, දිවෙන් දත යුතු මනාප වූ ද අමනාප වූ ද රසයෝ ඇත්තාහ. -පෙ- මහණෙනි, කයින් දත යුතු මනාප වූ ද අමනාප වූ ද ස්පර්ශයෝ ඇත්තාහ. -පෙ- මහණෙනි, සිතින් දත යුතු මනාප වූ ද අමනාප වූ ද ධර්මයෝ ඇත්තාහ. ඔවුහු නැවත නැවත ස්පර්ශ වෙමින් මොහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටිත්. සිත හාත්පසින් මැඩ නොගැනීම හේතුකොටගෙන නොහැකිළුණු, පටන්ගත් වීර්යය ඇති වෙයි. නුමුළා වූ එළඹ සිටි සිහිය ඇති වෙයි. දාහ රහිත වූ සංසිඳුණු (නාම) කය ඇති වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්ත වෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්ෂූන් විසින් ස්පර්ශ ආයතන සයෙහි අප්‍රමාදයෙන් කටයුතු කළ යුතු යයි කියමි.”
1. 14. 2.
ඛණ (ක්ෂණ) සූත්‍රය
135. “මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. තොප විසින් බ්‍රහ්මචර්යාවෙහි විසීමට සුදුසු ක්ෂණය (මනුෂ්‍යාත්මභාවය) ලබන ලද්දේය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් නිරයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රූපයක් දකී නම් අනිෂ්ට ස්වභාවය ඇත්තක්ම දකියි. ඉෂ්ට ස්වභාවය ඇත්තක් නොදකියි. නොකැමැති ස්වභාවය ඇත්තක්ම දකියි. කැමැති ස්වභාවය ඇත්තක් නොදකියි. අමනාප ස්වභාවය ඇත්තක්ම දකියි. මනාප ස්වභාවය ඇත්තක් නොදකියි. කනෙන් යම්කිසි ශබ්දයක් අසයි නම් -පෙ- නාසයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කරයි නම් -පෙ- දිවෙන් යම්කිසි රසයක් විඳියි නම් -පෙ- කයෙන් යම්කිසි ස්පර්ශයක් ලබයි නම් -පෙ- සිතින් යම්කිසි ධර්මයක් දැනගනී නම් අනිෂ්ට ස්වභාවය ඇත්තක්ම දැනගනියි. ඉෂ්ට ස්වභාවය ඇත්තක් දැන නොගනියි. නොකැමැති ස්වභාවය ඇත්තක්ම දැනගනියි. කැමැති ස්වභාවය ඇත්තක් දැන නොගනියි. අමනාප ස්වභාවය ඇත්තක්ම දැනගනියි. මනාප ස්වභාවය ඇත්තක් දැන නොගනියි.
“මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. බ්‍රහ්මචර්යා වාසයට සුදුසු ක්ෂණය (මනුෂ්‍යාත්මභාවය) තොප විසින් ලබන ලදී. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්ගයෝ දක්නා ලද්දාහ. එහි ඇසින් යම්කිසි රූපයක් දකී නම් ඉෂ්ට ස්වභාවය ඇත්තක්ම දකියි. අනිෂ්ට ස්වභාවය ඇත්තක් නොදකියි. කැමැති ස්වභාවය ඇත්තක්ම දකියි. නොකැමැති ස්වභාවය ඇත්තක් නොදකියි. මනාප ස්වභාවය ඇත්තක්ම දකියි. අමනාප ස්වභාවය ඇත්තක් නොදකියි.
කනෙන් යම්කිසි ශබ්දයක් අසයි නම් -පෙ- නාසයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කරයි නම් -පෙ- දිවෙන් යම්කිසි රසයක් විඳියි නම් -පෙ- කයෙන් යම්කිසි ස්පර්ශයක් ලබයි නම් -පෙ- සිතින් යම්කිසි ධර්මයක් දැනගනී නම් ඉෂ්ට ස්වභාවය ඇත්තක්ම දැනගනියි. අනිෂ්ට ස්වභාවය ඇත්තක් දැන නොගනියි. කැමැති ස්වභාවය ඇත්තක්ම දැනගනියි. නොකැමැති ස්වභාවය ඇත්තක් දැන නොගනියි. මනාප ස්වභාවය ඇත්තක්ම දැනගනියි. අමනාප ස්වභාවය ඇත්තක් දැන නොගනියි. මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. තොප විසින් බ්‍රහ්මචර්යා වාසයට සුදුසු ක්ෂණය (මේ මනුෂ්‍යාත්මභාවය) ලබන ලද්දේය.”
1. 14. 3.
3. සගය්හ සූත්‍රය
136. “මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්හි බැඳුනෝ රූපයෙහි ඇළුනෝ රූපයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්හි බැඳුනෝ ශබ්දයෙහි ඇළුනෝ ශබ්දයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ගන්ධයන්හි බැඳුනෝ ගන්ධයෙහි ඇළුනෝ ගන්ධයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ගන්ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් රසයන්හි බැඳුනෝ රසයෙහි ඇළුනෝ රසයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්ශයන්හි බැඳුනෝ ස්පර්ශයෙහි ඇළුනෝ ස්පර්ශයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ධර්මයන්හි බැඳුනෝ ධර්මයෙහි ඇළුනෝ ධර්මයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ධර්මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.