සතර විපත්ති
1. අප යම් (ශික්ෂාපද වර්ගයක්) ගැන විචාළෙමු ද, ඔබ ඒ වර්ගය අපට වදාළ සේක. විචාළ ඒ ඒ ශික්ෂාපදය කිසිදු වෙනසක් නොකොට ම පවසන ලදී. ඔබගෙන් තවත් දෙයක් අසමි. එබැවින් එය වදාළ මැනවි.
2. බරපතළ (ගරුක) ඇවැත් හා සැහැල්ලු (ලහුක) ඇවැත් ද, සාවසේස (පිළියම් කළ හැකි) හා අනවසේස (පිළියම් කළ නොහැකි) ඇවැත් ද, දුට්ඨුල්ල (දරුණු) හා අදුට්ඨුල්ල ඇවැත් ද, යාවතතියක (තුන්වන වරටත් අවවාද කළ පසු නොනවත්වන විට සිදුවන) ඇවැත් ද,
3. සාධාරණ (භික්ෂු භික්ෂුණී දෙපසට ම පොදු) හා අසාධාරණ (පොදු නොවන) ඇවැත් ද, විපත්ති වර්ග ද, ඒවා යම් සමථවලින් (ප්‍රශ්න සංසිඳවන ක්‍රමවලින්) සංසිඳෙයි ද ඒ සමථ වර්ග ද යන මේ සියල්ල වදාළ මැනවි. දැන් ඔබගේ වචනය අසමු.
4. (භික්ෂු භික්ෂුණීන් සඳහා පණවන ලද) යම් බරපතළ ඇවැත් තිස්එකක් වේ ද, ඒවා අතුරෙන් අටක් අනවසේස ඇවැත් වෙයි. යම් ඇවැත් බරපතළ වේ ද, ඒවා දුට්ඨුල්ල නම් වෙයි. යම් ඇවැත් දුට්ඨුල්ල වේ ද, ඒවා සීලවිපත්ති නම් වෙයි.
5. පාරාජිකා හා සංඝාදිසේස ඇවැත් සීලවිපත්ති යයි කියනු ලැබේ. ථුල්ලච්චය ද, පාචිත්තිය ද, එසේ ම පාටිදේසනීය ද,
6. දුක්කට ද, විහිළු කිරීමේ අදහසින් යමෙක් අනෙකකුට බැණ කියයි ද එයින් වන මේ දුබ්භාසිත ඇවැත ද යන මේ ඇවැත් ආචාරවිපත්ති යයි සම්මත ය.
7. අසද්ධර්මය පෙරටු කරගත්, නුවණ නැති, මෝහයෙන් වැසී සිටින අය මිථ්‍යා දෘෂ්ටිය ගනිත් ද, බුදුරජාණන් වහන්සේට නැති දොස් නගත් ද, මේ දිට්ඨිවිපත්ති යයි සම්මත ය.
8. ජීවිකාව සඳහා, ජීවිකාව නිසා, ලාමක ආශා ඇති, ලාමක ආශාවෙන් යටපත් වූ භික්ෂුව තමා තුළ නැති, සත්‍ය නොවූ උත්තරිමනුස්සධර්මයක් (සාමාන්‍ය මිනිසුන්ට ඉහළින් වූ ගුණයක්) ඇතැයි කියයි ද, ජීවිකාව සඳහා, ජීවිකාව නිසා සඤ්චරිත්තයට (ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ ගෙන යාමට) පැමිණෙයි ද, ජීවිකාව සඳහා, ජීවිකාව නිසා “ඔබගේ විහාරයේ යමෙක් වාසය කරයි ද, ඒ භික්ෂුව රහතන් වහන්සේ නමකි” යි කියයි ද, ජීවිකාව සඳහා, ජීවිකාව නිසා භික්ෂුවක් තමා සඳහා ප්‍රණීත භෝජන ඉල්ලාගෙන වළඳයි ද, ජීවිකාව සඳහා, ජීවිකාව නිසා භික්ෂුවක් ගිලන් නොවී සිටිය දී තමා සඳහා සුප හෝ බත් හෝ ඉල්ලාගෙන වළඳයි ද, මේ ආජීවවිපත්ති යයි සම්මත ය.
9. යාවතතියක ශික්ෂාපද එකොළහකි. ඒවා කෙසේ දැයි අසන්න: උක්ඛිත්තානුවත්තක (සංඝයා විසින් උක්ඛේපනීය කර්මයෙන් බැහැර කරන ලද භික්ෂුවක් අනුගමනය කිරීම පිළිබඳ) ශික්ෂාපදය ද, යාවතතියක අට ද, අරිට්ඨ ශික්ෂාපදය ද, චණ්ඩකාළී ශික්ෂාපදය ද යන මේවා යාවතතියක ශික්ෂාපද වෙයි.
ඡේදනක ආදිය
1. ඡේදනක ශික්ෂාපද කීයක් ද, භේදනක ශික්ෂාපද කීයක් ද, උද්දාලනක ශික්ෂාපද කීයක් ද, අනඤ්ඤපාචිත්තිය ශික්ෂාපද කීයක් ද,
2. භික්ෂු සම්මුති ශික්ෂාපද කීයක් ද, සාමීචි ශික්ෂාපද කීයක් ද, පරම ශික්ෂාපද කීයක් ද, සූර්ය වංශයේ ඥාතියෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් පණවන ලද ජානන්ති ශික්ෂාපද කීයක් ද යත්:
3. ඡේදනක ශික්ෂාපද (ප්‍රමාණය ඉක්මවූ කොටස කපා දැමිය යුතු ශික්ෂාපද) හයකි. භේදනක ශික්ෂාපද එකකි (ඉඳිකටු කොපුව බිඳ දැමිය යුතු ශික්ෂාපදය). උද්දාලනක ශික්ෂාපද එකකි (පුළුන් පුරවන ලද ඇඳ පුටුවල පුළුන් ගලවා දැමිය යුතු ශික්ෂාපදය). අනඤ්ඤපාචිත්තිය ශික්ෂාපද හතරකි.
4. සූර්ය වංශයේ ඥාතියෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් පණවන ලද භික්ෂු සම්මුති ශික්ෂාපද හතරකි. සාමීචි ශික්ෂාපද හතකි. පරම ශික්ෂාපද දාහතරකි. ජානන්ති ශික්ෂාපද දාසයකි.
පොදු නොවන ශික්ෂාපද ආදිය
1. භික්ෂූන්ට අයත් ශික්ෂාපද දෙසිය විස්සක් පොහොය දිනවල උදෙසීමට (සංඝයා මැද කියවීමට) පැමිණෙයි.
2. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද තුන්සිය හතරක් පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි.
3. භික්ෂූන්ට අයත් ශික්ෂාපද හතළිස් හයක් භික්ෂුණීන් සමඟ පොදු නොවෙයි. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද එකසිය තිහක් භික්ෂූන් සමඟ පොදු නොවෙයි.
4. ශික්ෂාපද එකසිය හැත්තෑ හයක් දෙපසට ම පොදු නොවෙයි. ශික්ෂාපද එකසිය හැත්තෑ හතරක් දෙපසට ම සමාන (පොදු) ශික්ෂාපද වෙයි.
5. භික්ෂූන්ට අයත් ශික්ෂාපද දෙසිය විස්සක් පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
6. පාරාජිකා හතර ද, සංඝාදිසේස දහතුන ද, අනියත දෙක ද, නිස්සග්ගිය තිහ ද, පාචිත්තිය අනූදෙක ද, පාටිදේසනීය හතර ද, සේඛිය හැත්තෑපහ ද වෙයි.
7. භික්ෂූන්ට අයත් දෙසිය විස්සක් වූ මේ ශික්ෂාපද පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි.
8. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද තුන්සිය හතරක් පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
9. පාරාජිකා අට ද, සංඝාදිසේස දාහත ද වෙයි. නිස්සග්ගිය තිහක් ම ය. පාචිත්තිය එකසිය හැට හයක් යයි කියනු ලැබේ.