ඡේදනක ආදිය
1. ඡේදනක ශික්ෂාපද කීයක් ද, භේදනක ශික්ෂාපද කීයක් ද, උද්දාලනක ශික්ෂාපද කීයක් ද, අනඤ්ඤපාචිත්තිය ශික්ෂාපද කීයක් ද,
2. භික්ෂු සම්මුති ශික්ෂාපද කීයක් ද, සාමීචි ශික්ෂාපද කීයක් ද, පරම ශික්ෂාපද කීයක් ද, සූර්ය වංශයේ ඥාතියෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් පණවන ලද ජානන්ති ශික්ෂාපද කීයක් ද යත්:
3. ඡේදනක ශික්ෂාපද (ප්රමාණය ඉක්මවූ කොටස කපා දැමිය යුතු ශික්ෂාපද) හයකි. භේදනක ශික්ෂාපද එකකි (ඉඳිකටු කොපුව බිඳ දැමිය යුතු ශික්ෂාපදය). උද්දාලනක ශික්ෂාපද එකකි (පුළුන් පුරවන ලද ඇඳ පුටුවල පුළුන් ගලවා දැමිය යුතු ශික්ෂාපදය). අනඤ්ඤපාචිත්තිය ශික්ෂාපද හතරකි.
4. සූර්ය වංශයේ ඥාතියෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් පණවන ලද භික්ෂු සම්මුති ශික්ෂාපද හතරකි. සාමීචි ශික්ෂාපද හතකි. පරම ශික්ෂාපද දාහතරකි. ජානන්ති ශික්ෂාපද දාසයකි.
පොදු නොවන ශික්ෂාපද ආදිය
1. භික්ෂූන්ට අයත් ශික්ෂාපද දෙසිය විස්සක් පොහොය දිනවල උදෙසීමට (සංඝයා මැද කියවීමට) පැමිණෙයි.
2. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද තුන්සිය හතරක් පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි.
3. භික්ෂූන්ට අයත් ශික්ෂාපද හතළිස් හයක් භික්ෂුණීන් සමඟ පොදු නොවෙයි. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද එකසිය තිහක් භික්ෂූන් සමඟ පොදු නොවෙයි.
4. ශික්ෂාපද එකසිය හැත්තෑ හයක් දෙපසට ම පොදු නොවෙයි. ශික්ෂාපද එකසිය හැත්තෑ හතරක් දෙපසට ම සමාන (පොදු) ශික්ෂාපද වෙයි.
5. භික්ෂූන්ට අයත් ශික්ෂාපද දෙසිය විස්සක් පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
6. පාරාජිකා හතර ද, සංඝාදිසේස දහතුන ද, අනියත දෙක ද, නිස්සග්ගිය තිහ ද, පාචිත්තිය අනූදෙක ද, පාටිදේසනීය හතර ද, සේඛිය හැත්තෑපහ ද වෙයි.
7. භික්ෂූන්ට අයත් දෙසිය විස්සක් වූ මේ ශික්ෂාපද පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි.
8. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද තුන්සිය හතරක් පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
9. පාරාජිකා අට ද, සංඝාදිසේස දාහත ද වෙයි. නිස්සග්ගිය තිහක් ම ය. පාචිත්තිය එකසිය හැට හයක් යයි කියනු ලැබේ.
10. පාටිදේසනීය අට ද, සේඛිය හැත්තෑපහ ද යන භික්ෂුණීන්ට අයත් මේ තුන්සිය හතරක් වූ ශික්ෂාපද වෙයි. ඒවා පොහොය දිනවල උදෙසීමට පැමිණෙයි.
11. භික්ෂූන්ට අයත් ශික්ෂාපද හතළිස් හයක් භික්ෂුණීන් සමඟ පොදු නොවෙයි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
12. සංඝාදිසේස හය අනියත දෙක සමඟ අටකි. නිස්සග්ගිය දොළහකි. ඒවා ඉහත කී අට සමඟ විස්සක් වෙයි.
13. පාචිත්තිය විසිදෙකකි. පාටිදේසනීය හතරකි. භික්ෂූන්ට අයත් මේ ශික්ෂාපද හතළිස් හය භික්ෂුණීන් සමඟ පොදු නොවෙයි.
14. භික්ෂුණීන්ට අයත් ශික්ෂාපද එකසිය තිහක් භික්ෂූන් සමඟ පොදු නොවෙයි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
15. පාරාජිකා හතර ද, සංඝයාගෙන් බැහැර කළ යුතු නිස්සාරණීය නම් වූ සංඝාදිසේස දහය ද, නිස්සග්ගිය දොළහ ද, සුද්ධ පාචිත්තිය (නිස්සග්ගිය නොවන පාචිත්තිය) අනූහය ද, පාටිදේසනීය අට ද යන භික්ෂුණීන්ට අයත්, භික්ෂූන් සමඟ පොදු නොවන මේ ශික්ෂාපද එකසිය තිහක් වෙයි.
16. භික්ෂු භික්ෂුණී දෙපසට ම පොදු නොවන ශික්ෂාපද එකසිය හැත්තෑ හයක් ම ය. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
17. පාරාජිකා හතරක් ද, සංඝාදිසේස දාසයක් ද වෙයි. අනියත දෙකක් ද, නිස්සග්ගිය විසිහතරක් ද වෙයි.
18. පාචිත්තිය එකසිය දහඅටක් ද, පාටිදේසනීය දොළහක් ද කියනු ලැබේ. (භික්ෂු භික්ෂුණී) දෙපසට ම පොදු නොවන මේ ශික්ෂාපද එකසිය හැත්තෑ හයක් වෙයි.
19. භික්ෂු භික්ෂුණී දෙපසට ම පොදු ශික්ෂාපද එකසිය හැත්තෑ හතරකි. ඒවා කෙසේ දැයි සවන් දෙන්න:
20. පාරාජිකා හතර ද, සංඝාදිසේස හත ද, නිස්සග්ගිය පාචිත්තිය දහඅට ද, සුද්ධ පාචිත්තිය හරියට ම සැත්තෑව ද, සේඛිය හැත්තෑපහ ද යන මේ ශික්ෂාපද එකසිය හැත්තෑ හතර භික්ෂු භික්ෂුණී දෙපසට ම සමාන වෙයි.
21. (බිය ඇති කරවන බැවින්) ළං වීමට අපහසු වූ, (මුලින් ම උදුරා දැමූ) තල් ගසක් තිබූ තැනක් වැනි වූ පාරාජිකා ඇවැත් අටක් ම වෙයි. පාරාජිකා ඇවැතට පත් පුද්ගලයා ඉදුණු කොළයක් මෙන් ද, බිඳුණු ගලක් මෙන් ද, හිස සිඳුණු කෙනෙකු මෙන් ද, මුදුන සිඳුණු තල් ගසක් මෙන් ද නැවත ප්රකෘති තත්ත්වයට නොඑයි. එසේ ම ඒ පාරාජිකා ඇවැත් ද නැවත ප්රකෘති තත්ත්වයට නොඑයි.
22. සංඝාදිසේස විසිතුන ද, අනියත දෙක ද, නිස්සග්ගිය හතළිස් දෙක ද, පාචිත්තිය එකසිය අසූඅට ද, පාටිදේසනීය දොළහ ද,
23. සේඛිය හැත්තෑපහ ද යන මේවා සම්මුඛා විනය (සංඝයා ඉදිරියේ විසඳීම), පටිඤ්ඤාතකරණ (වරද පිළිගැනීමෙන් විසඳීම), තිණවත්ථාරක (තණකොළවලින් වසා දමන්නාක් මෙන් සංසිඳවීම) යන සමථ තුනෙන් සංසිඳෙයි.
24. ජිනරාජයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද (භික්ෂු, භික්ෂුණී) උපෝසථ (පොහොය කර්ම) දෙක ද, පවාරණා දෙක ද, (අධර්මයෙන් පිරිසක් පමණක් එක් වී කරන ආදී) කර්ම හතර ද, පාතිමොක්ඛ උදෙසීම් පහ ද, (භික්ෂුණීන්ගේ වශයෙන්) හතර ද, ඇවැත් කොටස් හත ද යන මේවා වෙනත් ආකාරයකින් නොවෙයි.
25. අධිකරණ (සංඝයා තුළ ඇතිවන ප්රශ්න) හතර සමථ හතෙන් සංසිඳෙයි. සමථ දෙකකින් ද, සමථ හතරකින් ද, සමථ තුනකින් ද සංසිඳෙයි. කිච්චාධිකරණය සමථ එකකින් සංසිඳෙයි.