20. සමුට්ඨාපන වාරය
1. විවාදාධිකරණය අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක් උපදවයි ද? විවාදාධිකරණය අධිකරණ හතර අතුරෙන් කිසිම අධිකරණයක් නූපදවයි. එහෙත් විවාදාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි. ඒ කෙසේ ද යත්: මේ ශාසනයෙහි භික්ෂූන් ධර්මය යැයි හෝ අධර්මය යැයි හෝ විනය යැයි හෝ අවිනය යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද, ප්‍රකාශ කරන ලද දෙයක් යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද, ප්‍රකාශ නොකරන ලද දෙයක් යැයි හෝ
තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරන ලද දෙයක් යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දෙයක් යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් පනවන ලද දෙයක් යැයි හෝ තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද දෙයක් යැයි හෝ ඇවැතක් යැයි හෝ ඇවැතක් නොවේ යැයි හෝ සැහැල්ලු ඇවැතක් යැයි හෝ බරපතළ ඇවැතක් යැයි හෝ සාවසේස ඇවැතක් (පිළියම් කළ හැකි ඇවැතක්) යැයි හෝ අනවසේස ඇවැතක් (පිළියම් කළ නොහැකි ඇවැතක්) යැයි හෝ දුට්ඨුල්ල (දරුණු) ඇවැතක් යැයි හෝ දුට්ඨුල්ල නොවන ඇවැතක් යැයි හෝ විවාද කරති. එහි යම් රණ්ඩුවක්, කලහයක්, ගැටුමක්, විවාදයක්, නොයෙක් අදහස් කීමක්, වෙනස් ලෙස කීමක්, එකිනෙකාට විරුද්ධ වචන කීමක්, පීඩා කිරීමක් වේ ද, මෙය විවාදාධිකරණය යැයි කියනු ලැබේ. විවාදාධිකරණය ගැන සංඝයා විවාද කරයි නම්, එය විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කරයි නම්, එය අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණෙයි නම්, එය ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැත නිසා සංඝයා කර්මයක් කරයි නම්, එය කිච්චාධිකරණය වෙයි. මෙසේ විවාදාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි.
2. අනුවාදාධිකරණය අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක් උපදවයි ද? අනුවාදාධිකරණය අධිකරණ හතර අතුරෙන් කිසිම අධිකරණයක් නූපදවයි. එහෙත් අනුවාදාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි. ඒ කෙසේ ද යත්: මේ ශාසනයෙහි භික්ෂූන් භික්ෂුවකට සීලය බිඳීම (සීලවිපත්තිය) ගැන හෝ හැසිරීම නරක් වීම (ආචාරවිපත්තිය) ගැන හෝ දෘෂ්ටිය වැරදීම (දිට්ඨිවිපත්තිය) ගැන හෝ ජීවිකාව වැරදීම (ආජීවවිපත්තිය) ගැන හෝ චෝදනා කරති ද, එහි යම් චෝදනා කිරීමක්, නැවත නැවත කීමක්, එළිදරව් කොට කීමක්, නොනවත්වා කීමක්, එයට නැඹුරු වූ බවක්, ඒ සඳහා උත්සාහ කරන බවක්, අනුබල දීමක් වේ ද, මෙය අනුවාදාධිකරණය යැයි කියනු ලැබේ. අනුවාදාධිකරණය ගැන සංඝයා විවාද කරයි නම්, එය විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කරයි නම්, එය අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණෙයි නම්, එය ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැත නිසා සංඝයා කර්මයක් කරයි නම්, එය කිච්චාධිකරණය වෙයි. මෙසේ අනුවාදාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි.
3. ආපත්තාධිකරණය අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක් උපදවයි ද? ආපත්තාධිකරණය අධිකරණ හතර අතුරෙන් කිසිම අධිකරණයක් නූපදවයි. එහෙත් ආපත්තාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි. ඒ කෙසේ ද යත්: ඇවැත් කොටස් පහ ද ආපත්තාධිකරණය වෙයි. ඇවැත් කොටස් හත ද ආපත්තාධිකරණය වෙයි. මෙය ආපත්තාධිකරණය යැයි කියනු ලැබේ. ආපත්තාධිකරණය ගැන සංඝයා විවාද කරයි නම්, එය විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කරයි නම්, එය අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණෙයි නම්, එය ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැත නිසා සංඝයා කර්මයක් කරයි නම්, එය කිච්චාධිකරණය වෙයි. මෙසේ ආපත්තාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි.
4. කිච්චාධිකරණය අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක් උපදවයි ද? කිච්චාධිකරණය අධිකරණ හතර අතුරෙන් කිසිම අධිකරණයක් නූපදවයි. එහෙත් කිච්චාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි. ඒ කෙසේ ද යත්: සංඝයාගේ අපලෝකන කර්මය, ඤත්ති කර්මය, ඤත්තිදුතිය කර්මය, ඤත්තිචතුත්ථ කර්මය යන යම් කළ යුතු බවක්, කටයුතු බවක් වේ ද, මෙය කිච්චාධිකරණය යැයි කියනු ලැබේ. කිච්චාධිකරණය ගැන සංඝයා විවාද කරයි නම්, එය විවාදාධිකරණය වෙයි. විවාද කරමින් චෝදනා කරයි නම්, එය අනුවාදාධිකරණය වෙයි. චෝදනා කරමින් ඇවැතට පැමිණෙයි නම්, එය ආපත්තාධිකරණය වෙයි. ඒ ඇවැත නිසා සංඝයා කර්මයක් කරයි නම්, එය කිච්චාධිකරණය වෙයි. මෙසේ කිච්චාධිකරණය හේතුකොට අධිකරණ හතර ම උපදියි.
විසිවන සමුට්ඨාපනවාරය නිමි.