අන්තරපෙය්‍යාලය
කතිපුච්ඡා වාරය
ආපත්ති (ඇවැත්) කීයක් ද, ආපත්ති ස්කන්ධ (ඇවැත් කොටස්) කීයක් ද, විනීත වස්තු (ඇවැත්වලින් වැළකීම්) කීයක් ද, අගෞරව කීයක් ද, ගෞරව කීයක් ද, විනීත වස්තු කීයක් ද, විපත්ති (පිරිහීම්) කීයක් ද, ආපත්ති සමුට්ඨාන (ඇවැත් හටගන්නා ආකාර) කීයක් ද, විවාද මූල (විවාදවලට මුල් වන කරුණු) කීයක් ද, අනුවාද මූල (චෝදනාවලට මුල් වන කරුණු) කීයක් ද, සාරාණීය ධර්ම (විවාද හා චෝදනාවලට මුල් කරුණු නැති කරන ධර්ම) කීයක් ද, භේදකර වස්තු (භේද ඇති කරන කරුණු) කීයක් ද, අධිකරණ (සංඝයා විසින් සංසිඳවිය යුතු නඩු කරුණු) කීයක් ද, සමථ (අධිකරණ සංසිඳවන ක්‍රම) කීයක් ද යත්:
ආපත්ති පහකි, ආපත්ති ස්කන්ධ පහකි, විනීත වස්තු පහකි, ආපත්ති හතකි, ආපත්ති ස්කන්ධ හතකි, විනීත වස්තු හතකි, අගෞරව හයකි, ගෞරව හයකි, විනීත වස්තු හයකි, විපත්ති හතරකි, ආපත්ති සමුට්ඨාන හයකි, විවාද මූල හයකි, අනුවාද මූල හයකි, සාරාණීය ධර්ම හයකි, භේදකර වස්තු දහඅටකි, අධිකරණ හතරකි, සමථ හතකි.
1. එහි ආපත්ති පහ කවරේ ද යත්: පාරාජිකා ආපත්තිය, සංඝාදිසේස ආපත්තිය, පාචිත්තිය ආපත්තිය, පාටිදේසනීය ආපත්තිය, දුක්කට ආපත්තිය යන මේ ආපත්ති පහයි.
2. එහි ආපත්ති ස්කන්ධ පහ කවරේ ද යත්: පාරාජිකා ආපත්ති ස්කන්ධය, සංඝාදිසේස ආපත්ති ස්කන්ධය, පාචිත්තිය ආපත්ති ස්කන්ධය, පාටිදේසනීය ආපත්ති ස්කන්ධය, දුක්කට ආපත්ති ස්කන්ධය යන මේ ආපත්ති ස්කන්ධ පහයි.
3. එහි විනීත වස්තු පහ කවරේ ද යත්: ආපත්ති ස්කන්ධ පහෙන් දුරු වීම, තොර වීම, වෙන් වෙන් වශයෙන් වැළකීම, වැළකී සිටීම (වේරමණී), නොකිරීම, නොකරන බව, ඇවැතට නොපැමිණීම, සීමාව නොඉක්මවීම, ඇවැත් සමූහය නැසීම (සේතුඝාත) යන මේ විනීත වස්තු පහයි.
4. එහි ආපත්ති හත කවරේ ද යත්: පාරාජිකා ආපත්තිය, සංඝාදිසේස ආපත්තිය, ථුල්ලච්චය ආපත්තිය, පාචිත්තිය ආපත්තිය, පාටිදේසනීය ආපත්තිය, දුක්කට ආපත්තිය, දුබ්භාසිත ආපත්තිය යන මේ ආපත්ති හතයි.
5. එහි ආපත්ති ස්කන්ධ හත කවරේ ද යත්: පාරාජිකා ආපත්ති ස්කන්ධය, සංඝාදිසේස ආපත්ති ස්කන්ධය, ථුල්ලච්චය ආපත්ති ස්කන්ධය, පාචිත්තිය ආපත්ති ස්කන්ධය, පාටිදේසනීය ආපත්ති ස්කන්ධය, දුක්කට ආපත්ති ස්කන්ධය, දුබ්භාසිත ආපත්ති ස්කන්ධය යන මේ ආපත්ති ස්කන්ධ හතයි.
6. එහි විනීත වස්තු හත කවරේ ද යත්: ආපත්ති ස්කන්ධ හතෙන් දුරු වීම, තොර වීම, වෙන් වෙන් වශයෙන් වැළකීම, වැළකී සිටීම (වේරමණී), නොකිරීම, නොකරන බව, ඇවැතට නොපැමිණීම, සීමාව නොඉක්මවීම, ඇවැත් සමූහය නැසීම (සේතුඝාත) යන මේ විනීත වස්තු හතයි.
7. එහි අගෞරව (ගරු නොකිරීම්) හය කවරේ ද යත්: බුදුන් කෙරෙහි අගෞරවය, ධර්මය කෙරෙහි අගෞරවය, සංඝයා කෙරෙහි අගෞරවය, ශික්ෂාව කෙරෙහි අගෞරවය, අප්‍රමාදය කෙරෙහි අගෞරවය, පිළිසඳර (සුහදව පිළිගැනීම) කෙරෙහි අගෞරවය යන මේ අගෞරව හයයි.
8. එහි ගෞරව හය කවරේ ද යත්: බුදුන් කෙරෙහි ගෞරවය, ධර්මය කෙරෙහි ගෞරවය, සංඝයා කෙරෙහි ගෞරවය, ශික්ෂාව කෙරෙහි ගෞරවය, අප්‍රමාදය කෙරෙහි ගෞරවය, පිළිසඳර කෙරෙහි ගෞරවය යන මේ ගෞරව හයයි.
9. එහි විනීත වස්තු හය කවරේ ද යත්: අගෞරව හයෙන් දුරු වීම, තොර වීම, වෙන් වෙන් වශයෙන් වැළකීම, වැළකී සිටීම (වේරමණී), නොකිරීම, නොකරන බව, ඇවැතට නොපැමිණීම, සීමාව නොඉක්මවීම, ඇවැත් සමූහය නැසීම (සේතුඝාත) යන මේ විනීත වස්තු හයයි.
10. එහි විපත්ති හතර කවරේ ද යත්: සීල විපත්තිය, ආචාර විපත්තිය, දිට්ඨි විපත්තිය, ආජීව විපත්තිය යන මේ විපත්ති හතරයි.
11. එහි ඇවැත් හටගන්නා ආකාර (ආපත්ති සමුට්ඨාන) හය කවරේ ද යත්: කයින් හටගන්නා ඇවැතක් ඇත, එය වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. වචනයෙන් හටගන්නා ඇවැතක් ඇත, එය කයින් හට නොගනී, සිතින් හට නොගනී. කයින් ද වචනයෙන් ද හටගන්නා ඇවැතක් ඇත, එය සිතින් හට නොගනී. කයින් ද සිතින් ද හටගන්නා ඇවැතක් ඇත, එය වචනයෙන් හට නොගනී. වචනයෙන් ද සිතින් ද හටගන්නා ඇවැතක් ඇත, එය කයින් හට නොගනී. කයින් ද වචනයෙන් ද සිතින් ද හටගන්නා ඇවැතක් ඇත. මේ ඇවැත් හටගන්නා ආකාර හයයි.
12. එහි විවාදයට මුල් වන කරුණු (විවාදමූල) හය කවරේ ද යත්: මේ ශාසනයෙහි භික්ෂුවක් කිපෙන සුලු වූයේ, වෛරය බැඳ තබා ගන්නේ වෙයි. යම් භික්ෂුවක් කිපෙන සුලු වූයේ, වෛරය බැඳ තබා ගන්නේ ද, ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව (ශාස්තෘන් වහන්සේ ප්‍රධාන කොට නොසලකා) වාසය කරයි. ධර්මය කෙරෙහි ද ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහි ද ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි. ශික්ෂාව ද සම්පූර්ණ කරන්නෙක් නොවෙයි. යම් භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි ද, ධර්මය කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි ද, සංඝයා කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි ද, ශික්ෂාව සම්පූර්ණ කරන්නෙක් නොවේ ද, ඒ භික්ෂුව සංඝයා තුළ විවාද ඇති කරයි. ඒ විවාදය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට අසැපය පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙවියන්ට හා මිනිසුන්ට අහිත පිණිස, දුක පිණිස පවතී. ඉදින් ඔබ මෙබඳු විවාදයට මුල් වන කරුණක් තමා තුළ (තමාගේ සිතේ හෝ තමාගේ පිරිස තුළ) හෝ පිටත (අනුන්ගේ සිතේ හෝ අනුන්ගේ පිරිස තුළ) හෝ දකින්නහු නම්, එහි දී ඔබ ඒ පහත් විවාදමූලය දුරු කිරීමට වෑයම් කරන්න. ඉදින් ඔබ මෙබඳු විවාදයට මුල් වන කරුණක් තමා තුළ හෝ පිටත හෝ නොදකින්නහු නම්, එහි දී ඔබ ඒ පහත් විවාදමූලය මතු ඇති නොවීම පිණිස පිළිපදින්න. මෙසේ මේ පහත් විවාදමූලය දුරු වෙයි. මෙසේ මේ පහත් විවාදමූලය මතු ඇති නොවෙයි.
නැවත ද අනෙකක් වෙයි: භික්ෂුවක් අනුන්ගේ ගුණ මකන්නෙක්, අනුන් හා තරග කරන්නෙක් වෙයි -පෙ- ඊර්ෂ්‍යා කරන සුලු වූයේ, මසුරු බව ඇත්තේ වෙයි -පෙ- කපටි වූයේ, මායා ඇත්තේ වෙයි -පෙ- පහත් ආශා ඇත්තේ, මිථ්‍යා දෘෂ්ටි (වැරදි මත) ඇත්තේ වෙයි -පෙ- තමාගේ මතය ම (‘මෙය ම සත්‍යය’ යි) අල්වා ගන්නේ, එය දැඩිව ගන්නා සුලු වූයේ, (වරද) අත්හැරීමට අපහසු වූයේ වෙයි. යම් භික්ෂුවක් තමාගේ මතය ම අල්වා ගන්නේ, එය දැඩිව ගන්නා සුලු වූයේ, (වරද) අත්හැරීමට අපහසු වූයේ ද, ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි. ධර්මය කෙරෙහි ද ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහි ද ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි. ශික්ෂාව ද සම්පූර්ණ කරන්නෙක් නොවෙයි. යම් භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි ද, ධර්මය කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි ද, සංඝයා කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවැත්මක් නැතිව වාසය කරයි ද, ශික්ෂාව සම්පූර්ණ කරන්නෙක් නොවේ ද, ඒ භික්ෂුව සංඝයා තුළ විවාද ඇති කරයි.