8. සමුච්චය වාරය
1. ශරීර ස්පර්ශයට ඇති රාගයෙන් තෙත් වූ පුරුෂයෙකුගේ ශරීර ස්පර්ශය ඉවසන, ශරීර ස්පර්ශයට ඇති රාගයෙන් තෙත් වූ භික්ෂුණිය ඇවැත් කීයකට පැමිණේද යත්: ශරීර ස්පර්ශයට ඇති රාගයෙන් තෙත් වූ පුරුෂයෙකුගේ ශරීර ස්පර්ශය ඉවසන, ශරීර ස්පර්ශයට ඇති රාගයෙන් තෙත් වූ භික්ෂුණිය ඇවැත් තුනකට පැමිණේ: අකු ඇටයෙන් පහළ, දණහිසින් ඉහළ අල්ලා ගැනීම ඉවසයි නම් පාරාජිකා ඇවැත් වේ. අකු ඇටයෙන් ඉහළ, දණහිසින් පහළ අල්ලා ගැනීම ඉවසයි නම් ථුල්ලච්චය ඇවැත් වේ. ශරීරයට සම්බන්ධ දෙයක් අල්ලා ගැනීම ඉවසයි නම් දුක්කට ඇවැත් වේ. ශරීර ස්පර්ශයට ඇති රාගයෙන් තෙත් වූ පුරුෂයෙකුගේ ශරීර ස්පර්ශය ඉවසන, ශරීර ස්පර්ශයට ඇති රාගයෙන් තෙත් වූ භික්ෂුණිය මේ ඇවැත් තුනට පැමිණේ.
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් විපත්ති කීයකට අයත් වේද, ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේද, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනීද, අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණයද, සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේද යත්:
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් සමහර විට ශීල විපත්තියට ද, සමහර විට ආචාර විපත්තියට ද යනුවෙන් විපත්ති දෙකකට අයත් වේ. ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාරාජිකා ඇවැත් කොටසට ද, සමහර විට ථුල්ලච්චය ඇවැත් කොටසට ද, සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යනුවෙන් ඇවැත් කොටස් තුනකට ඇතුළත් වේ. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයෙන් ද සිතෙන් ද හටගනී, වචනයෙන් හටනොගනී. අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණයයි. සමථ හත අතුරෙන් සමහර විට සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, සමහර විට සම්මුඛා විනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යනුවෙන් සමථ තුනකින් සංසිඳේ. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් කීයකට පැමිණේද යත්: මී කිරි ඉල්ලා වළඳන භික්ෂුණිය ඇවැත් දෙකකට පැමිණේ: “වළඳමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත් වේ. මී කිරි ඉල්ලා වළඳන භික්ෂුණිය මේ ඇවැත් දෙකට පැමිණේ.
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් විපත්ති කීයකට අයත් වේද, ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේද, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනීද, අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණයද, සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේද යත්:
3. ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් ආචාර විපත්තිය නම් එක් විපත්තියකට පමණක් අයත් වේ. ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාටිදේසනීය ඇවැත් කොටසට ද, සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යනුවෙන් ඇවැත් කොටස් දෙකකට ඇතුළත් වේ. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හතරකින් හටගනී: සමහර විට කයෙන් හටගනී, වචනයෙන් හටනොගනී, සිතෙන් හටනොගනී. සමහර විට කයෙන් ද වචනයෙන් ද හටගනී, සිතෙන් හටනොගනී. සමහර විට කයෙන් ද සිතෙන් ද හටගනී, වචනයෙන් හටනොගනී. සමහර විට කයෙන් ද වචනයෙන් ද සිතෙන් ද හටගනී. අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණයයි. සමථ හත අතුරෙන් සමහර විට සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, සමහර විට සම්මුඛා විනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යනුවෙන් සමථ තුනකින් සංසිඳේ.
අටවන සමුච්චය වාරය නිමි.