16. සමුච්චයවාරය
1. කායසංසර්ගය ඉවසීම නිසා ඇවැත් කීයකට පැමිණේ ද යත්: කායසංසර්ගය ඉවසීම නිසා ඇවැත් පහකට පැමිණේ. කායසංසර්ගයට ඇති රාගයෙන් තෙත් වූ භික්ෂුණියක්, කායසංසර්ගයට ඇති රාගයෙන් තෙත් වූ පිරිමියකු විසින් අකු ඇටයට පහළින් දණහිසට ඉහළින් ඇඟ අල්ලා ගැනීම ඉවසයි නම් පාරාජිකා ඇවැත් වේ. භික්ෂුවක් කයින් කය ස්පර්ශ කරයි නම් සංඝාදිසේස ඇවැත් වේ. කයින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් ථුල්ලච්චය ඇවැත් වේ. කයට සම්බන්ධ දෙයකින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් දුක්කට ඇවැත් වේ. ඇඟිල්ලෙන් කිති කැවීමෙහි පාචිත්තිය ඇවැත් වේ. කායසංසර්ගය ඉවසීම නිසා මේ ඇවැත් පහට පැමිණේ.
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් විපත්ති කීයකට අයත් වේ ද, ඇවැත් කොටස් හත (ආපත්තිස්කන්ධ) අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේ ද, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනී ද, අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණය ද, සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේ ද යත්:
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් සමහර විට ශීල විපත්තියට ද සමහර විට ආචාර විපත්තියට ද යන විපත්ති දෙකට අයත් වේ. ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාරාජිකා ඇවැත් කොටසට ද සමහර විට සංඝාදිසේස ඇවැත් කොටසට ද සමහර විට ථුල්ලච්චය ඇවැත් කොටසට ද සමහර විට පාචිත්තිය ඇවැත් කොටසට ද සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යන ඇවැත් කොටස් පහකට ඇතුළත් වේ. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණය යි. සමථ හත අතුරෙන් සමහර විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, සමහර විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනකින් සංසිඳේ. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන නිසා ඇවැත් කීයකට පැමිණේ ද යත්: මී කිරි ඉල්ලා වළඳන නිසා ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත් වේ. මී කිරි ඉල්ලා වළඳන නිසා මේ ඇවැත් දෙකට පැමිණේ.
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් විපත්ති කීයකට අයත් වේ ද, ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේ ද, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනී ද, අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණය ද, සමථ හත අතුරෙන් සමථ කීයකින් සංසිඳේ ද යත්:
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් ආචාර විපත්තිය යන එක් විපත්තියකට පමණක් අයත් වේ. ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාටිදේසනීය ඇවැත් කොටසට ද සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යන ඇවැත් කොටස් දෙකකට ඇතුළත් වේ. ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හතරකින් හටගනී: සමහර විට කයින් හටගනී, වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද හටගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හටගනී. අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණය යි. සමථ හත අතුරෙන් සමහර විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, සමහර විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනකින් සංසිඳේ.
අටවන සමුච්චය වාරය නිමි.
පච්චය වාර අට නිමි.
ඒ වාරවල උද්දානය (නම් ලැයිස්තුව):
කතාපත්ති වාරය ද, විපත්ති වාරය ද, සංගහ වාරය ද, සමුට්ඨාන වාරය ද, අධිකරණ වාරය ද, සමථ වාරය ද, සමුච්චය වාරය ද යන මේ වාර හත, මුලින් දක්වන ලද කත්ථපඤ්ඤත්ති වාරය සමඟ (පච්චය වාරයෙහි) මහා වාර අටක් වෙයි.
භික්ඛුනී විභඞ්ගයෙහි මහා වාර දහසය නිමි.
භික්ඛුනී විභඞ්ගය ද නිමි.