12. සඞ්ග්‍රහවාරය
1. කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, ඇවැත් කොටස් හත (ආපත්තික්ඛන්ධ) අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේ ද යත්: කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාරාජිකා ඇවැත් කොටසට ද සමහර විට සංඝාදිසේස ඇවැත් කොටසට ද සමහර විට ථුල්ලච්චය ඇවැත් කොටසට ද සමහර විට පාචිත්තිය ඇවැත් කොටසට ද සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යන ඇවැත් කොටස් පහකට ඇතුළත් වේ. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේ ද යත්: මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාටිදේසනීය ඇවැත් කොටසට ද සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යන ඇවැත් කොටස් දෙකකට ඇතුළත් වේ.
සිව්වන සඞ්ග්‍රහවාරය නිමි.
13. සමුට්ඨානවාරය
1. කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, ඇවැත් හටගන්නා ආකාර හය (ආපත්ති සමුට්ඨාන) අතුරෙන් ආකාර කීයකින් හටගනී ද යත්: කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනී ද යත්: මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හතරකින් හටගනී. සමහර විට කයින් හටගනී, වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද හටගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හටගනී.
පස්වැනි සමුට්ඨානවාරය නිමි.
14. අධිකරණවාරය
1. කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර (සංඝයා විසින් සංසිඳවිය යුතු කරුණු) අතුරෙන් කුමන අධිකරණය ද යත්: කායසංසර්ගය ඉවසීම නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණය (ඇවැත් පිළිබඳ අධිකරණය) යි. -පෙ-
2. මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර අතුරෙන් කුමන අධිකරණය ද යත්: මී කිරි ඉල්ලා වළඳන නිසා සිදුවන ඇවැත්, අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණය යි.
හයවැනි අධිකරණවාරය නිමි.