8. භික්ඛුනෝවාද වර්ගය
1. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම කර්මයක් කළ යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම “ඒ භික්ෂුව භික්ෂුණී සංඝයා විසින් නොවැඳිය යුත්තෙකි” යි (දඬුවම්) කර්මය කළ යුතු ය. කවර පහකින් ද යත්: කය විවෘත කොට භික්ෂුණීන්ට පෙන්වයි; කලවා පෙන්වයි, රහස් අංගය පෙන්වයි, උරහිස් දෙක පෙන්වයි, අසභ්‍ය වචන කියයි, භික්ෂුණීන් ගිහියන් සමඟ (මෛථුනයෙහි) යොදවයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම “ඒ භික්ෂුව භික්ෂුණී සංඝයා විසින් නොවැඳිය යුත්තෙකි” යි කර්මය කළ යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම “ඒ භික්ෂුව භික්ෂුණී සංඝයා විසින් නොවැඳිය යුත්තෙකි” යි කර්මය කළ යුතු ය. කවර පහකින් ද යත්: භික්ෂුණීන්ට ලාභ නොලැබෙන්නට (සිවුපසය නොලැබෙන්නට) උත්සාහ කරයි, භික්ෂුණීන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි, භික්ෂුණීන්ට වාසය නොලැබෙන්නට (ඔවුන් වසන තැනින් නෙරපීම පිණිස) උත්සාහ කරයි, භික්ෂුණීන්ට බනියි, නින්දා කරයි, භික්ෂූන් භික්ෂුණීන්ගෙන් බිඳුවයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම “ඒ භික්ෂුව භික්ෂුණී සංඝයා විසින් නොවැඳිය යුත්තෙකි” යි කර්මය කළ යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම “ඒ භික්ෂුව භික්ෂුණී සංඝයා විසින් නොවැඳිය යුත්තෙකි” යි කර්මය කළ යුතු ය. කවර පහකින් ද යත්: භික්ෂුණීන්ට ලාභ නොලැබෙන්නට උත්සාහ කරයි, භික්ෂුණීන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි, භික්ෂුණීන්ට වාසය නොලැබෙන්නට උත්සාහ කරයි, භික්ෂුණීන්ට බනියි, නින්දා කරයි, භික්ෂූන් භික්ෂුණීන් සමඟ (මෛථුනයෙහි) යොදවයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවකට භික්ෂුණී සංඝයා විසින් ම “ඒ භික්ෂුව භික්ෂුණී සංඝයා විසින් නොවැඳිය යුත්තෙකි” යි කර්මය කළ යුතු ය.
2. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත වූ භික්ෂුණියකට කර්මයක් කළ යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත වූ භික්ෂුණියකට කර්මය කළ යුතු ය. කවර පහකින් ද යත්: කය විවෘත කොට භික්ෂූන්ට පෙන්වයි; කලවා පෙන්වයි, රහස් අංගය පෙන්වයි, උරහිස් දෙක පෙන්වයි, අසභ්‍ය වචන කියයි, (භික්ෂුණීන් සමඟ මෛථුනය සේවනය කිරීම පිණිස) ගිහියන් යොදවයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුණියකට කර්මය කළ යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුණියකට කර්මය කළ යුතු ය. කවර පහකින් ද යත්: භික්ෂූන්ට ලාභ නොලැබෙන්නට උත්සාහ කරයි, භික්ෂූන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි, භික්ෂූන්ට වාසය නොලැබෙන්නට උත්සාහ කරයි, භික්ෂූන්ට බනියි, නින්දා කරයි, භික්ෂුණීන් භික්ෂූන්ගෙන් බිඳුවයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුණියකට කර්මය කළ යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුණියකට කර්මය කළ යුතු ය. කවර පහකින් ද යත්: භික්ෂූන්ට ලාභ නොලැබෙන්නට උත්සාහ කරයි, භික්ෂූන්ට අනර්ථය පිණිස උත්සාහ කරයි, භික්ෂූන්ට වාසය නොලැබෙන්නට උත්සාහ කරයි, භික්ෂූන්ට බනියි, නින්දා කරයි, භික්ෂුණීන් භික්ෂූන් සමඟ මෛථුනය පිණිස යොදවයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුණියකට කර්මය කළ යුතු ය.
3. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය. කවර පහකින් ද යත්: ලජ්ජා නැත්තෙක් වෙයි, අඥානයෙක් වෙයි, අපකතත්ත (පිරිසිදු භික්ෂු තත්ත්වයේ නොසිටින) කෙනෙක් වෙයි, (භික්ෂු භාවයෙන්) චුත කරවීමේ අදහසින් කතා කරන්නෙක් වෙයි, (ඇවැතින්) නැගිටුවීමේ අදහස ඇත්තෙක් නොවෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය. කවර පහකින් ද යත්: කයින් කරන හැසිරීම පිරිසිදු නැත්තෙක් වෙයි, වචනයෙන් කරන හැසිරීම පිරිසිදු නැත්තෙක් වෙයි, දිවි පැවැත්ම පිරිසිදු නැත්තෙක් වෙයි, දක්ෂ නොවූ අඥානයෙක් වෙයි, ප්‍රශ්න කරන විට පිළිතුරු දෙන්නට සමත් නොවෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය. කවර පහකින් ද යත්: කයින් කරන නොමනා හැසිරීමෙන් යුක්ත වූයේ වෙයි, වචනයෙන් කරන නොමනා හැසිරීමෙන් යුක්ත වූයේ වෙයි, කයින් හා වචනයෙන් කරන නොමනා හැසිරීමෙන් යුක්ත වූයේ වෙයි, භික්ෂුණීන්ට බැණ වදින, අපහාස කරන්නෙක් වෙයි, භික්ෂුණීන් සමඟ නුසුදුසු ලෙස එක්ව ඇසුරු කරමින් වාසය කරයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය. කවර පහකින් ද යත්: ලජ්ජා නැත්තෙක් වෙයි, අඥානයෙක් ද වෙයි, අපකතත්ත (පිරිසිදු භික්ෂු තත්ත්වයේ නොසිටින) කෙනෙක් ද වෙයි, කලහ කරන්නෙක්, අරගල කරන්නෙක් ද වෙයි, ශික්ෂාපද සම්පූර්ණ කරන්නෙක් නොවෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට දෙන අවවාදය නවතා නොතැබිය යුතු ය.
4. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට අවවාද කිරීම භාර නොගත යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට අවවාද කිරීම භාර නොගත යුතු ය. කවර පහකින් ද යත්: කයින් කරන නොමනා හැසිරීමෙන් යුක්ත වූයේ වෙයි, වචනයෙන් කරන නොමනා හැසිරීමෙන් යුක්ත වූයේ වෙයි, කයින් හා වචනයෙන් කරන නොමනා හැසිරීමෙන් යුක්ත වූයේ වෙයි, භික්ෂුණීන්ට බැණ වදින, අපහාස කරන්නෙක් වෙයි, භික්ෂුණීන් සමඟ නුසුදුසු ලෙස එක්ව ඇසුරු කරමින් වාසය කරයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට අවවාද කිරීම භාර නොගත යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට අවවාද කිරීම භාර නොගත යුතු ය. කවර පහකින් ද යත්: ලජ්ජා නැත්තෙක් ද වෙයි, අඥානයෙක් ද වෙයි, අපකතත්ත (පිරිසිදු භික්ෂු තත්ත්වයේ නොසිටින) කෙනෙක් ද වෙයි, ගමනක් යන්නෙක් හෝ වෙයි, ගිලනෙක් හෝ වෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවක් විසින් භික්ෂුණීන්ට අවවාද කිරීම භාර නොගත යුතු ය.