6. ධුතාංග වර්ගය
1. ස්වාමීනි, ආරණ්‍යකයෝ (වනයේ වසන ධුතාංගය රකින භික්ෂූහු) කී දෙනෙක් ද?
උපාලි, මේ ආරණ්‍යකයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්: නුවණ මඳ බැවින්, මෝහයෙන් මුළා වූ බැවින් ආරණ්‍යක වෙයි. (සිව්පසය ලැබීමේ ආශාව නම් වූ) පාපී අදහස් ඇත්තේ, ඒ පාපී ආශාවෙන් යටපත් වූයේ ආරණ්‍යක වෙයි. උමතු බැවින්, සිත වියවුල් වීමෙන් ආරණ්‍යක වෙයි. බුදුවරුන් විසින් ද බුද්ධ ශ්‍රාවකයන් විසින් ද වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යක වෙයි. තවද අල්පේච්ඡ (ආශා අඩු) බව ම නිසා, ලද දෙයින් සතුටු වීම ම නිසා, (කෙලෙස්) තුනී කිරීම ම නිසා, හුදෙකලා විවේකය ම නිසා, මේ පිළිවෙතින් ප්‍රයෝජන ඇති බව ම නිසා ආරණ්‍යක වෙයි. උපාලි, මොවුහු ආරණ්‍යකයෝ පස් දෙනා ය.
2-12. ස්වාමීනි, පිණ්ඩපාතිකයෝ (පිඬු සිඟා ලත් ආහාරයෙන් පමණක් යැපෙන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, පංසුකූලිකයෝ (ඉවත දැමූ රෙදිවලින් කළ සිවුරු පමණක් දරන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, රුක්ඛමූලිකයෝ (ගසක් මුල වසන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, සෝසානිකයෝ (සොහොනේ වසන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, අබ්භෝකාසිකයෝ (එළිමහනේ වසන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, තෙචීවරිකයෝ (සිවුරු තුන පමණක් දරන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, සපදානචාරිකයෝ (ගෙයක් නොහැර පිළිවෙළින් පිඬු සිඟා යන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, නෙසජ්ජිකයෝ (නොසැතපී සිටින්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, යථාසන්ථතිකයෝ (ලැබුණු සෙනසුනෙන් සතුටු වන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, ඒකාසනිකයෝ (එක් අසුනක හිඳ එක් වරක් පමණක් වළඳන්නෝ) කී දෙනෙක් ද? -පෙ- ස්වාමීනි, ඛලුපච්ඡාභත්තිකයෝ (වළඳා අවසන් කළ පසු නැවත ආහාර නොපිළිගන්නෝ) කී දෙනෙක් ද? -පෙ-
13. ස්වාමීනි, පත්තපිණ්ඩිකයෝ (පාත්‍රයට ලැබුණු ආහාරය පමණක් වළඳන්නෝ) කී දෙනෙක් ද?
උපාලි, මේ පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්: නුවණ මඳ බැවින්, මෝහයෙන් මුළා වූ බැවින් පත්තපිණ්ඩික වෙයි. පාපී අදහස් ඇත්තේ, ඒ පාපී ආශාවෙන් යටපත් වූයේ පත්තපිණ්ඩික වෙයි. උමතු බැවින්, සිත වියවුල් වීමෙන් පත්තපිණ්ඩික වෙයි. බුදුවරුන් විසින් ද බුද්ධ ශ්‍රාවකයන් විසින් ද වර්ණනා කරන ලද්දේ යැයි පත්තපිණ්ඩික වෙයි. තවද අල්පේච්ඡ (ආශා අඩු) බව ම නිසා, ලද දෙයින් සතුටු වීම ම නිසා, කෙලෙස් තුනී කිරීම ම නිසා, හුදෙකලා විවේකය ම නිසා, මේ පිළිවෙතින් ප්‍රයෝජන ඇති බව ම නිසා පත්තපිණ්ඩික වෙයි. උපාලි, මොවුහු පත්තපිණ්ඩිකයෝ පස් දෙනා ය.
හයවන ධුතාංග වර්ගය නිමි.
එහි නාමාවලිය:
ආරඤ්ඤක ද, පිණ්ඩපාතික ද, පංසුකූලික ද, රුක්ඛමූලික ද, පස්වැනි වූ සෝසානික ද, අබ්භෝකාසික ද, තෙචීවරික ද, සපදාන ද, නෙසජ්ජික ද, යථාසන්ථතික ද, ඒකාසනික ද, ඛලුපච්ඡාභත්තික ද, පත්තපිණ්ඩික ද යන මේවා ය.
7. මුසාවාද වර්ගය
1. ස්වාමීනි, බොරු කීම් (මුසාවාද) කීයක් ද?
උපාලි, මේ බොරු කීම් පහකි. කවර පහක් ද යත්: පාරාජිකා ඇවැතට පමුණුවන බොරු කීමක් ඇත, සංඝාදිසේස ඇවැතට පමුණුවන බොරු කීමක් ඇත, ථුල්ලච්චය ඇවැතට පමුණුවන බොරු කීමක් ඇත, පාචිත්තිය ඇවැතට පමුණුවන බොරු කීමක් ඇත, දුක්කට ඇවැතට පමුණුවන බොරු කීමක් ඇත. උපාලි, මේ බොරු කීම් පහ ය.
2. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත වූ, සංඝයා මැද උපෝසථය හෝ පවාරණය හෝ නවත්වන භික්ෂුවකගේ වචනය, “මහණ, ඇති. දබර නොකරන්න, කලහ නොකරන්න, ගැටුම් ඇති නොකරන්න, වාද විවාද නොකරන්න” යි (තමාගේ වචනයෙන්) යටපත් කොට, සංඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කළ යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත වූ, සංඝයා මැද උපෝසථය හෝ පවාරණය හෝ නවත්වන භික්ෂුවකගේ වචනය, “මහණ, ඇති. දබර නොකරන්න, කලහ නොකරන්න, ගැටුම් ඇති නොකරන්න, වාද විවාද නොකරන්න” යි යටපත් කොට, සංඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කළ යුතු ය. කවර පහකින් ද යත්: ලජ්ජා නැත්තෙකුත් වෙයි, අඥානයෙකුත් වෙයි, අපකතත්ත (පිරිසිදු භික්ෂු තත්ත්වයේ නොසිටින) කෙනෙකුත් වෙයි, (භික්ෂු භාවයෙන්) චුත කරවීමේ අදහසින් කියන්නේ වෙයි, (ඇවැතින්) නැගී සිටුවීමේ අදහසින් නොකියන්නේ වෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ, සංඝයා මැද උපෝසථය හෝ පවාරණය හෝ නවත්වන භික්ෂුවකගේ වචනය, “මහණ, ඇති. දබර නොකරන්න, කලහ නොකරන්න, ගැටුම් ඇති නොකරන්න, වාද විවාද නොකරන්න” යි යටපත් කොට, සංඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කළ යුතු ය.
උපාලි, තවත් අංග පහකින් යුක්ත වූ, සංඝයා මැද උපෝසථය හෝ පවාරණය හෝ නවත්වන භික්ෂුවකගේ වචනය, “මහණ, ඇති. දබර නොකරන්න, කලහ නොකරන්න, ගැටුම් ඇති නොකරන්න, වාද විවාද නොකරන්න” යි යටපත් කොට, සංඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කළ යුතු ය. කවර පහකින් ද යත්: අපිරිසිදු කායික හැසිරීම් ඇත්තේ වෙයි, අපිරිසිදු වාචසික හැසිරීම් ඇත්තේ වෙයි, අපිරිසිදු ජීවිකාවක් ඇත්තේ වෙයි, අදක්ෂ වූ අඥානයෙක් වෙයි, දබර කරන්නෙක්, කලහ කරන්නෙක් වෙයි. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ, සංඝයා මැද උපෝසථය හෝ පවාරණය හෝ නවත්වන භික්ෂුවකගේ වචනය, “මහණ, ඇති. දබර නොකරන්න, කලහ නොකරන්න, ගැටුම් ඇති නොකරන්න, වාද විවාද නොකරන්න” යි යටපත් කොට, සංඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කළ යුතු ය.
3. ස්වාමීනි, කොපමණ අංගවලින් යුක්ත වූ භික්ෂුවකට අනුයෝගය (චෝදනාව විමසීමේ අවසරය) නොදිය යුතු ද?
උපාලි, අංග පහකින් යුක්ත වූ භික්ෂුවකට අනුයෝගය නොදිය යුතු ය. කවර පහකින් ද යත්: ඇවැත ද නොඇවැත ද නොදනී, සැහැල්ලු ඇවැත ද බැරෑරුම් ඇවැත ද නොදනී, සාවසේස (ඉතිරි සහිත) ඇවැත ද අනවසේස (ඉතිරි රහිත) ඇවැත ද නොදනී, දුට්ඨුල්ල (දරුණු) ඇවැත ද දුට්ඨුල්ල නොවන ඇවැත ද නොදනී, පිළියම් සහිත ඇවැත ද පිළියම් රහිත ඇවැත ද නොදනී. උපාලි, මේ අංග පහෙන් යුක්ත වූ භික්ෂුවකට අනුයෝගය නොදිය යුතු ය.