සංග්රහ වාරය
පූර්ව කරණය කරුණු කීයකින් සංග්රහ වී (ඇතුළත් වී) ඇත්තේ ද යත්: පූර්ව කරණය කරුණු හතකින් සංග්රහ වී ඇත: සේදීමෙන්, කඩ නියම කිරීමෙන්, කැපීමෙන්, හිස් නූල් තැබීමෙන්, මැසීමෙන්, පඬු පෙවීමෙන්, කප්බිඳු තැබීමෙන් ය. පූර්ව කරණය මේ කරුණු හතෙන් සංග්රහ වී ඇත.
පච්චුද්ධාරය කරුණු කීයකින් සංග්රහ වී ඇත්තේ ද යත්: පච්චුද්ධාරය කරුණු තුනකින් සංග්රහ වී ඇත: සඟළ සිවුරෙන්, උතුරුසඟ සිවුරෙන්, අඳනා සිවුරෙන් ය.
අධිෂ්ඨානය කරුණු කීයකින් සංග්රහ වී ඇත්තේ ද යත්: අධිෂ්ඨානය කරුණු තුනකින් සංග්රහ වී ඇත: සඟළ සිවුරෙන්, උතුරුසඟ සිවුරෙන්, අඳනා සිවුරෙන් ය.
අත්ථාරය කරුණු කීයකින් සංග්රහ වී ඇත්තේ ද යත්: අත්ථාරය එක් කරුණකින් සංග්රහ වී ඇත: වචනයෙන් කීමෙනි (‘මේ සඟළ සිවුරෙන්, මේ උතුරුසඟ සිවුරෙන්, මේ අඳනා සිවුරෙන් කඨිනය අතුරමි’ යි කීමෙනි).
කඨිනයට මූල කීයක් ද, වස්තු කීයක් ද, භූමි කීයක් ද යත්: කඨිනයට එක් මූලයක් ඇත: සංඝයා ය. වස්තු තුනක් ඇත: සඟළ සිවුර (සංඝාටිය), උතුරුසඟ සිවුර (උත්තරාසංගය), අඳනා සිවුර (අන්තරවාසකය) ය. භූමි හයක් ඇත: කොමු පිළි, කපු පිළි, සේද (තිහිරි) පිළි, කම්බිලි, හණ වැහැරි, මිශ්ර පිළි ය.
කඨිනයට මුල කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද යත්: කඨිනයට පූර්ව කරණය මුල ය. (පච්චුද්ධාරය හා අධිෂ්ඨානය යන) ක්රියා මැද ය. අත්ථාරය අවසානය යි.
අංග කීයකින් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු නොවේ ද, අංග කීයකින් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: අංග අටකින් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු නොවේ. අංග අටකින් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු වේ.
කවර අංග අටකින් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු නොවේ ද යත්: පූර්ව කරණය නොදනී, පච්චුද්ධාරය නොදනී, අධිෂ්ඨානය නොදනී, අත්ථාරය නොදනී, (අට වැදෑරුම්) මාතෘකාව නොදනී, (දෙවැදෑරුම්) පළිබෝධය නොදනී, උද්ධාරය නොදනී, ආනිසංසය නොදනී. මේ අංග අටෙන් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු නොවේ.
කවර අංග අටකින් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: පූර්ව කරණය දනී, පච්චුද්ධාරය දනී, අධිෂ්ඨානය දනී, අත්ථාරය දනී, (අට වැදෑරුම්) මාතෘකාව දනී, (දෙවැදෑරුම්) පළිබෝධය දනී, උද්ධාරය දනී, ආනිසංසය දනී. මේ අංග අටෙන් යුත් පුද්ගලයා කඨිනය අතුරන්නට සුදුසු වේ.
පුද්ගලයන් කී දෙනෙකුගේ කඨිනත්ථාර (සම්පූර්ණ වී) සිද්ධ නොවේ ද, පුද්ගලයන් කී දෙනෙකුගේ කඨිනත්ථාර (සම්පූර්ණ වී) සිද්ධ වේ ද යත්: පුද්ගලයන් තිදෙනෙකුගේ කඨිනත්ථාර සිද්ධ නොවේ. පුද්ගලයන් තිදෙනෙකුගේ කඨිනත්ථාර සිද්ධ වේ.
කවර පුද්ගලයන් තිදෙනෙකුගේ කඨිනත්ථාර සිද්ධ නොවේ ද යත්: උපචාර සීමාවෙන් පිටත සිටින්නා අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නා වචනයෙන් නොකියයි ද, වචනයෙන් කියන්නා අනෙකාට නොදන්වයි ද, මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්ථාර සිද්ධ නොවේ.
කවර පුද්ගලයන් තිදෙනෙකුගේ කඨිනත්ථාර සිද්ධ වේ ද යත්: සීමාව තුළ සිටින්නා අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නා වචනයෙන් කියයි ද, වචනයෙන් කියන්නා අනෙකාට දන්වයි ද, මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්ථාර සිද්ධ වේ.
කඨිනත්ථාර කීයක් සිද්ධ නොවේ ද, කඨිනත්ථාර කීයක් සිද්ධ වේ ද යත්: කඨිනත්ථාර තුනක් සිද්ධ නොවේ. කඨිනත්ථාර තුනක් සිද්ධ වේ.
කවර කඨිනත්ථාර තුන සිද්ධ නොවේ ද යත්: වස්තුවෙන් විපත් වූයේ (කඨිනයට නොසුදුසු වස්ත්රයක් වූයේ) වේ ද, කාලයෙන් විපත් වූයේ (දායකයන් අද දුන් වස්ත්රය සංඝයා හෙට කඨිනය අතුරන්නාට දුන්නේ) වේ ද, කරණයෙන් විපත් වූයේ (එදින ම කපා නිම නොකළේ) වේ ද, මේ කඨිනත්ථාර තුන සිද්ධ නොවේ.
කවර කඨිනත්ථාර තුන සිද්ධ වේ ද යත්: වස්තුවෙන් සම්පූර්ණ වූයේ වේ ද, කාලයෙන් සම්පූර්ණ වූයේ වේ ද, කරණයෙන් සම්පූර්ණ වූයේ වේ ද, මේ කඨිනත්ථාර තුන සිද්ධ වේ.
1. කඨිනය දැනගත යුතු ය, කඨිනත්ථාරය දැනගත යුතු ය, කඨිනය අතුරන මාසය දැනගත යුතු ය, කඨිනත්ථාර විපත්තිය දැනගත යුතු ය, කඨිනත්ථාර සම්පත්තිය දැනගත යුතු ය, නිමිත්ත කර්මය දැනගත යුතු ය, පරිකථාව දැනගත යුතු ය, තාවකාලිකය (කුක්කුකතය) දැනගත යුතු ය, සන්නිධිය දැනගත යුතු ය, නිස්සග්ගිය දැනගත යුතු ය.
2. ‘කඨිනය දැනගත යුතු ය’ යනු: (යම් රූප ආදි ධර්ම ඇති කල්හි කඨිනය නම් වේ ද,) ඒ ධර්මයන්ගේ ම එකතුවක්, එක්වීමක්, නමක්, නම් කිරීමක්, නම් තැබීමක්, නිරුක්තියක්, ව්යඤ්ජනයක්, කියමනක් වූ, මේ ‘කඨින’ යනු යමක් ද එය යි.
3. ‘කඨිනය අතුරන මාසය දැනගත යුතු ය’ යනු: වස් කාලයේ අවසාන මාසය දැනගත යුතු ය.
4. ‘කඨිනත්ථාර විපත්තිය දැනගත යුතු ය’ යනු: ආකාර විසි හතරකින් කඨිනත්ථාර විපත්තිය දැනගත යුතු ය.
5. ‘කඨිනත්ථාර සම්පත්තිය දැනගත යුතු ය’ යනු: ආකාර දාහතකින් කඨිනත්ථාර සම්පත්තිය දැනගත යුතු ය.