2. 1.
පාරාජික කාණ්ඩය
1. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුව ඇවැත් කීයකට පැමිණේ ද යත්:
මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: නොදිරූ ශරීරයක නිමිත්තෙහි මෛථුන ධර්මය සේවනය කරයි නම් පාරාජික ඇවැත වේ. බොහෝ සෙයින් දිරූ ශරීරයක නිමිත්තෙහි මෛථුන ධර්මය සේවනය කරයි නම් ථුල්ලච්චය ඇවැත වේ. විවර කළ මුඛයෙහි කොතැනකවත් නොගැටෙන සේ පුරුෂ නිමිත්ත ඇතුළු කරයි නම් දුක්කට ඇවැත වේ. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුව මේ ඇවැත් තුනට පැමිණේ.
2. නොදුන් දෙය (සොර සිතින්) ගන්නා භික්ෂුව ඇවැත් කීයකට පැමිණේ ද යත්:
නොදුන් දෙය (සොර සිතින්) ගැනීම නිසා ඇවැත් තුනකට පැමිණේ: මාසක පහක් හෝ මාසක පහකට වැඩි හෝ වටිනා නොදුන් දෙයක් සොර සිතින් ගනී නම් පාරාජික ඇවැත වේ. මාසකයකට වැඩි හෝ මාසක පහකට අඩු හෝ වටිනා නොදුන් දෙයක් සොර සිතින් ගනී නම් ථුල්ලච්චය ඇවැත වේ. මාසකයක් හෝ මාසකයකට අඩු හෝ වටිනා නොදුන් දෙයක් සොර සිතින් ගනී නම් දුක්කට ඇවැත වේ. නොදුන් දෙය ගන්නා භික්ෂුව මේ ඇවැත් තුනට පැමිණේ.
3. දැන දැනම මිනිසකු ජීවිතයෙන් තොර කරන භික්ෂුව ඇවැත් කීයකට පැමිණේ ද යත්:
දැන දැනම මිනිසකු ජීවිතයෙන් තොර කරන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: “(මෙහි) වැටී මැරෙනු ඇත” යි මිනිසකු ඉලක්ක කොට වළක් හාරයි නම් දුක්කට ඇවැත වේ. එහි වැටුණු කල ඔහුට දුක් වේදනා උපදී නම් ථුල්ලච්චය ඇවැත වේ. මැරේ නම් පාරාජික ඇවැත වේ. දැන දැනම මිනිසකු ජීවිතයෙන් තොර කරන භික්ෂුව මේ ඇවැත් තුනට පැමිණේ.
4. (තමා තුළ) නැති, සැබෑ නොවන (ධ්‍යාන ආදී) උතුරු මිනිස් දම් තමා තුළ ඇතැයි කියන භික්ෂුව ඇවැත් කීයකට පැමිණේ ද යත්:
නැති, සැබෑ නොවන උතුරු මිනිස් දම් ඇතැයි කියන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: පවිටු ආශා ඇති, (එබඳු) ආශාවෙන් යටපත් වූ භික්ෂුව (තමා තුළ නැති) උතුරු මිනිස් දම් (ඇතැයි) කියයි නම් පාරාජික ඇවැත වේ. “ඔබගේ විහාරයෙහි යමෙක් වසයි ද, ඒ භික්ෂුව රහතන් වහන්සේ ය” යි එය තේරුම් ගන්නා කෙනෙකුට කියයි නම් ථුල්ලච්චය ඇවැත වේ; තේරුම් නොගන්නා කෙනෙකුට කියයි නම් දුක්කට ඇවැත වේ. නැති, සැබෑ නොවන උතුරු මිනිස් දම් (ඇතැයි) කියන භික්ෂුව මේ ඇවැත් තුනට පැමිණේ.
පාරාජික හතර නිමි.
2. 2.
සංඝාදිසේස කාණ්ඩය
1. උත්සාහයක් කොට ශුක්රය මුදා හරින භික්ෂුව ඇවැත් කීයකට පැමිණේ ද යත්:
උත්සාහයක් කොට ශුක්රය මුදා හරින භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: සිතයි ද, උත්සාහ කරයි ද, ශුක්රය මිදේ ද සංඝාදිසේස ඇවැත වේ. සිතයි ද, උත්සාහ කරයි ද, ශුක්රය නොමිදේ ද ථුල්ලච්චය ඇවැත වේ. ඒ උත්සාහයෙහි දුක්කට ඇවැත වේ.
2. ස්ත්‍රියක සමග ශරීර ස්පර්ශයට (කාය සංසර්ගයට) පැමිණෙන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: කයින් කය ස්පර්ශ කරයි නම් සංඝාදිසේස ඇවැත වේ. කයින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් ථුල්ලච්චය ඇවැත වේ. කයට සම්බන්ධ දෙයකින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් දුක්කට ඇවැත වේ.
3. ස්ත්‍රියකට කාමය හා බැඳුණු අශිලාචාර වචන (දුට්ඨුල්ල වචන) කියන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: මළ මාර්ගය සහ මුත්‍ර මාර්ගය අරමුණු කොට ගුණත් කියයි ද, අගුණත් කියයි ද සංඝාදිසේස ඇවැත වේ. මළ මාර්ගය සහ මුත්‍ර මාර්ගය හැර, අකුළු ඇටයෙන් පහළ සහ දණහිසින් ඉහළ කය අරමුණු කොට ගුණත් කියයි ද, අගුණත් කියයි ද ථුල්ලච්චය ඇවැත වේ. කයට සම්බන්ධ දෙයක් අරමුණු කොට ගුණත් කියයි ද, අගුණත් කියයි ද දුක්කට ඇවැත වේ.
4. මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: ස්ත්‍රියක ඉදිරියෙහි මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියයි ද සංඝාදිසේස ඇවැත වේ. පණ්ඩකයෙකු (නපුංසකයෙකු) ඉදිරියෙහි මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියයි ද ථුල්ලච්චය ඇවැත වේ. තිරිසන් සතෙකු ඉදිරියෙහි මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියයි ද දුක්කට ඇවැත වේ.
5. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර (පණිවිඩ ගෙන යාම් ඊම් වශයෙන්) අතරමැදියෙකු වීමට (සඤ්චරිත්තයට) පැමිණෙන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: (පණිවිඩය) භාරගනී නම්, විමසයි නම්, ආපසු (පිළිතුර) ගෙන එයි නම් සංඝාදිසේස ඇවැත වේ. භාරගනී නම්, විමසයි නම්, ආපසු ගෙන නොඑයි නම් ථුල්ලච්චය ඇවැත වේ. භාරගනී නම්, නොවිමසයි නම්, ආපසු ගෙන නොඑයි නම් දුක්කට ඇවැත වේ.
6. තමා ඉල්ලාගත් උපකරණවලින් කුටියක් කරවන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයෙහි දුක්කට ඇවැත වේ. එක් මැටි පිඩක් තැබීමට ඉතිරිව තිබියදී ථුල්ලච්චය ඇවැත වේ. ඒ පිඩද තැබූ කල සංඝාදිසේස ඇවැත වේ.
7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයෙහි දුක්කට ඇවැත වේ. එක් මැටි පිඩක් තැබීමට ඉතිරිව තිබියදී ථුල්ලච්චය ඇවැත වේ. ඒ පිඩද තැබූ කල සංඝාදිසේස ඇවැත වේ.
8. භික්ෂුවකට පදනමක් නැති (අමූලක) පාරාජික ඇවැතකින් චෝදනා කරන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: අවසර නොගෙන, සසුනෙන් නෙරපීමේ අදහසින් කියයි නම් සංඝාදිසේස ඇවැත සමග දුක්කට ඇවැත වේ. අවසර ගෙන, නින්දා කිරීමේ අදහසින් කියයි නම් ගැරහීම (ඔමසවාද) පිළිබඳ පාචිත්තිය ඇවැත වේ.