2. 2.
සංඝාදිසේස කාණ්ඩය
1. උත්සාහයක් කොට ශුක්‍රය මුදා හරින භික්ෂුව ඇවැත් කීයකට පැමිණේ ද යත්:
උත්සාහයක් කොට ශුක්‍රය මුදා හරින භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: සිතයි ද, උත්සාහ කරයි ද, ශුක්‍රය මිදේ ද සංඝාදිසේස ඇවැත වේ. සිතයි ද, උත්සාහ කරයි ද, ශුක්‍රය නොමිදේ ද ථුල්ලච්චය ඇවැත වේ. ඒ උත්සාහයෙහි දුක්කට ඇවැත වේ.
2. ස්ත්‍රියක සමග ශරීර ස්පර්ශයට (කාය සංසර්ගයට) පැමිණෙන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: කයින් කය ස්පර්ශ කරයි නම් සංඝාදිසේස ඇවැත වේ. කයින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් ථුල්ලච්චය ඇවැත වේ. කයට සම්බන්ධ දෙයකින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් දුක්කට ඇවැත වේ.
3. ස්ත්‍රියකට කාමය හා බැඳුණු අශිලාචාර වචන (දුට්ඨුල්ල වචන) කියන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: මළ මාර්ගය සහ මුත්‍ර මාර්ගය අරමුණු කොට ගුණත් කියයි ද, අගුණත් කියයි ද සංඝාදිසේස ඇවැත වේ. මළ මාර්ගය සහ මුත්‍ර මාර්ගය හැර, අකුළු ඇටයෙන් පහළ සහ දණහිසින් ඉහළ කය අරමුණු කොට ගුණත් කියයි ද, අගුණත් කියයි ද ථුල්ලච්චය ඇවැත වේ. කයට සම්බන්ධ දෙයක් අරමුණු කොට ගුණත් කියයි ද, අගුණත් කියයි ද දුක්කට ඇවැත වේ.
4. මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: ස්ත්‍රියක ඉදිරියෙහි මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියයි ද සංඝාදිසේස ඇවැත වේ. පණ්ඩකයෙකු (නපුංසකයෙකු) ඉදිරියෙහි මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියයි ද ථුල්ලච්චය ඇවැත වේ. තිරිසන් සතෙකු ඉදිරියෙහි මෛථුනයෙන් තමාට උපස්ථාන කිරීමේ ගුණ කියයි ද දුක්කට ඇවැත වේ.
5. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර (පණිවිඩ ගෙන යාම් ඊම් වශයෙන්) අතරමැදියෙකු වීමට (සඤ්චරිත්තයට) පැමිණෙන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: (පණිවිඩය) භාරගනී නම්, විමසයි නම්, ආපසු (පිළිතුර) ගෙන එයි නම් සංඝාදිසේස ඇවැත වේ. භාරගනී නම්, විමසයි නම්, ආපසු ගෙන නොඑයි නම් ථුල්ලච්චය ඇවැත වේ. භාරගනී නම්, නොවිමසයි නම්, ආපසු ගෙන නොඑයි නම් දුක්කට ඇවැත වේ.
6. තමා ඉල්ලාගත් උපකරණවලින් කුටියක් කරවන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයෙහි දුක්කට ඇවැත වේ. එක් මැටි පිඩක් තැබීමට ඉතිරිව තිබියදී ථුල්ලච්චය ඇවැත වේ. ඒ පිඩද තැබූ කල සංඝාදිසේස ඇවැත වේ.
7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයෙහි දුක්කට ඇවැත වේ. එක් මැටි පිඩක් තැබීමට ඉතිරිව තිබියදී ථුල්ලච්චය ඇවැත වේ. ඒ පිඩද තැබූ කල සංඝාදිසේස ඇවැත වේ.
8. භික්ෂුවකට පදනමක් නැති (අමූලක) පාරාජික ඇවැතකින් චෝදනා කරන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: අවසර නොගෙන, සසුනෙන් නෙරපීමේ අදහසින් කියයි නම් සංඝාදිසේස ඇවැත සමග දුක්කට ඇවැත වේ. අවසර ගෙන, නින්දා කිරීමේ අදහසින් කියයි නම් ගැරහීම (ඔමසවාද) පිළිබඳ පාචිත්තිය ඇවැත වේ.
9. වෙනත් කොටසකට අයත් අධිකරණයක (නඩු කාරණයක) කිසියම් කොටසක්, කිසියම් සුළු සමානකමක් (ලේශයක්) ගෙන භික්ෂුවකට පාරාජික ඇවැතකින් චෝදනා කරන භික්ෂුව ඇවැත් තුනකට පැමිණේ: අවසර නොගෙන, සසුනෙන් නෙරපීමේ අදහසින් කියයි නම් සංඝාදිසේස ඇවැත සමග දුක්කට ඇවැත වේ. අවසර ගෙන, නින්දා කිරීමේ අදහසින් කියයි නම් ගැරහීම පිළිබඳ පාචිත්තිය ඇවැත වේ.
10. තුන්වන වර දක්වා (ඒ වරද අත්හරින ලෙස) සමනුභාසන කර්මය කරනු ලබන සංඝභේදක භික්ෂුව ඒ වරද අත් නොහරියි නම් ඇවැත් තුනකට පැමිණේ: ඤත්තියෙහි (සංඝයාට කරන යෝජනාවෙහි) දුක්කට ඇවැත වේ. කර්මවාක්‍ය දෙකෙන් ථුල්ලච්චය ඇවැත් දෙකක් වේ. කර්මවාක්‍යය අවසන් වූ කල සංඝාදිසේස ඇවැත වේ.
11. තුන්වන වර දක්වා සමනුභාසන කර්මය කරනු ලබන, සංඝභේදකයා අනුව යන (භේදානුවත්තක) භික්ෂූහු ඒ වරද අත් නොහරිති නම් ඇවැත් තුනකට පැමිණෙති: ඤත්තියෙහි දුක්කට ඇවැත වේ. කර්මවාක්‍ය දෙකෙන් ථුල්ලච්චය ඇවැත් දෙකක් වේ. කර්මවාක්‍යය අවසන් වූ කල සංඝාදිසේස ඇවැත වේ.
12. තුන්වන වර දක්වා සමනුභාසන කර්මය කරනු ලබන අකීකරු භික්ෂුව ඒ වරද අත් නොහරියි නම් ඇවැත් තුනකට පැමිණේ: ඤත්තියෙහි දුක්කට ඇවැත වේ. කර්මවාක්‍ය දෙකෙන් ථුල්ලච්චය ඇවැත් දෙකක් වේ. කර්මවාක්‍යය අවසන් වූ කල සංඝාදිසේස ඇවැත වේ.
13. තුන්වන වර දක්වා සමනුභාසන කර්මය කරනු ලබන කුලදූසක (ගිහි පවුල් දූෂණය කරන) භික්ෂුව ඒ වරද අත් නොහරියි නම් ඇවැත් තුනකට පැමිණේ: ඤත්තියෙහි දුක්කට ඇවැත වේ. කර්මවාක්‍ය දෙකෙන් ථුල්ලච්චය ඇවැත් දෙකක් වේ. කර්මවාක්‍යය අවසන් වූ කල සංඝාදිසේස ඇවැත වේ.
සංඝාදිසේස දහතුන නිමි.
2. 3.
නිස්සග්ගිය කාණ්ඩය
3. 1.
1. (අධිෂ්ඨාන නොකළ, විකප්ප නොකළ) අතිරේක සිවුරක් දින දහයක් ඉක්මවා තබා ගන්නා භික්ෂුව එක් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතකට පැමිණේ.
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන භික්ෂුව එක් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතකට පැමිණේ.
3. අකාල සිවුරක් පිළිගෙන මාසයක් ඉක්මවන භික්ෂුව එක් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතකට පැමිණේ.
4. ඥාතියෙකු නොවන භික්ෂුණියක ලවා පරණ සිවුරක් සෝදවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: සෝදවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. සෝදවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
5. ඥාතියෙකු නොවන භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගන්නා භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: ගනියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ගත් කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.