5. 3. 7.
මහාපෙසකාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් දුර ගමනක් යන්නේ තම බිරිඳට මෙසේ කීය: “නූල් කිරා (ප්‍රමාණය සලකා) අසවල් පෙහෙකරුවාට (රෙදි වියන්නාට) දෙන්න. සිවුරු පිළියක් වියවා තබන්න. මා ආපසු ආ පසු ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරෙන් පුදන්නෙමි” යි. පිඬු සිඟා යන එක්තරා භික්ෂුවක් මෙසේ කියන ඒ පුරුෂයාගේ මේ වචනය ඇසූහ. ඉක්බිති ඒ භික්ෂුව ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ, ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට මෙසේ කීහ: “ඇවැත් උපනන්දයෙනි, ඔබ මහත් පින් ඇත්තෙකි. අසවල් තැන එක්තරා පුරුෂයෙක් දුර ගමනක් යන්නේ තම බිරිඳට මෙසේ කීය: ‘නූල් කිරා අසවල් පෙහෙකරුවාට දෙන්න. සිවුරු පිළියක් වියවා තබන්න. මා ආපසු ආ පසු ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරෙන් පුදන්නෙමි’ යි.” “ඇවැත්නි, ඔහු මාගේ උපස්ථායකයෙකි” යි. ඒ පෙහෙකරුවා ද ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායකයෙක් වෙයි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් ඒ පෙහෙකරුවා වෙත එළඹ පෙහෙකරුවාට මෙසේ කීහ: “ඇවැත, මේ සිවුරු පිළිය මා උදෙසා වියනු ලැබේ. මෙය දිග ද, පුළුල් ද, ඝන ද කරන්න. මනාව (සියලු තැන්හි සමව) වියන ලද්දක් ද, සියලු තැන්හි සමව නූල් ඇද මනාව වියන ලද්දක් ද, කූරෙන් මනාව සකස් කළ එකක් ද, කොස්සෙන් මනාව පිරිසිදු කළ (මනාව සෝදන ලද) එකක් ද කරන්න” යි. “ස්වාමීනි, මොවුහු මට නූල් කිරා දී ‘මේ නූලෙන් සිවුරක් වියන්න’ යි කීහ. ස්වාමීනි, දිග හෝ පුළුල් හෝ ඝන හෝ කරන්නට නොහැකිය. එහෙත් ස්වාමීනි, මනාව වියන ලද්දක් ද, සමව නූල් ඇද මනාව වියන ලද්දක් ද, කූරෙන් මනාව සකස් කළ එකක් ද, කොස්සෙන් මනාව පිරිසිදු කළ එකක් ද කරන්නට හැකිය.” “ඇවැත, එසේ නම් ඔබ දිග ද පුළුල් ද ඝන ද කරන්න. ඔබට නූල් හිඟයක් නොවන්නේය” යි.
3. ඉක්බිති ඒ පෙහෙකරුවා ගෙනා පමණ නූල් වියන යන්ත්‍රයෙහි (දිගට අතුරා) එළවා, ඒ ස්ත්‍රිය වෙත එළඹ ඒ ස්ත්‍රියට මෙසේ කීය: “ආර්යාවෙනි, නූල් වුවමනාය” යි. “ආර්යය, ‘මේ නූලෙන් සිවුරක් වියන්න’ යි මා ඔබට කීවා නොවේ ද?” “සැබෑය ආර්යාවෙනි, ‘මේ නූලෙන් සිවුරක් වියන්න’ යි ඔබ මට කීවාය. එහෙත් ආර්ය උපනන්දයන් වහන්සේ මට මෙසේ කීහ: ‘ඇවැත, එසේ නම් ඔබ දිග ද පුළුල් ද ඝන ද කරන්න. ඔබට නූල් හිඟයක් නොවන්නේය’ යි.” ඉක්බිති ඒ ස්ත්‍රිය පළමුව යම් පමණ නූල් දුන්නා ද, පසුව ද එපමණ ම දුන්නාය.
4. ‘ඒ පුරුෂයා දුර ගමනින් ආපසු ආවේලු’ යි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් ඒ පුරුෂයාගේ නිවසට එළඹ පනවන ලද අසුනෙහි වැඩ හුන්හ. ඉක්බිති ඒ පුරුෂයා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ, ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ පුරුෂයා තම බිරිඳට මෙසේ කීය: “ඒ සිවුර වියවන ලද්දේ ද?” “එසේය හිමියනි, ඒ සිවුර වියවන ලදී.” “ගෙනෙන්න, ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරෙන් පුදන්නෙමි” යි. ඉක්බිති ඒ ස්ත්‍රිය ඒ සිවුර ගෙනවුත් සැමියාට දී මේ කරුණ දැන්වූවාය. ඉක්බිති ඒ පුරුෂයා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට සිවුර දී හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ මහත් ආශා ඇත්තෝය, ලද දෙයින් සතුටු නොවන්නෝය. මොවුන්ට සිවුරෙන් පිදීම පහසු නොවේ. කෙසේ නම් ආර්ය උපනන්දයන් වහන්සේ මා විසින් පෙර නොපවරන ලද්දාහු පෙහෙකරුවන් වෙත එළඹ සිවුර ගැන අධික විධානයට (විකප්පයට) පැමිණෙන්නාහු ද” යි.
5. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ පුරුෂයාගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් පෙර නොපවරන ලද්දාහු ගෘහපතියෙකුගේ පෙහෙකරුවන් වෙත එළඹ සිවුර ගැන අධික විධානයට පැමිණෙන්නාහු ද” යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “උපනන්ද, ඔබ පෙර නොපවරන ලද්දේ ගෘහපතියෙකුගේ පෙහෙකරුවන් වෙත එළඹ සිවුර ගැන අධික විධානයට පැමිණියේ ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” “උපනන්ද, ඔහු ඔබේ නෑයෙක් ද, නෑයෙකු නොවන්නෙක් ද?” “භාග්‍යවතුන් වහන්ස, නෑයෙකු නොවන්නෙකි.” “හිස් පුරුෂය, නෑයෙකු නොවන්නා නෑයෙකු නොවන්නාට සුදුසු දේ හෝ නුසුදුසු දේ හෝ, ඇති දේ හෝ නැති දේ හෝ නොදනියි. එසේ තිබියදී හිස් පුරුෂය, ඔබ පෙර නොපවරන ලද්දේ නෑයෙකු නොවන ගෘහපතියෙකුගේ පෙහෙකරුවන් වෙත එළඹ සිවුර ගැන අධික විධානයට පැමිණියෙහි ය. හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“භික්ෂුවක් උදෙසා නෑයෙකු නොවන ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් හෝ පෙහෙකරුවන් ලවා සිවුරක් වියවයි නම්, එහි (ඒ පෙහෙකරුවන් සිටින ගමෙහි හෝ නියම් ගමෙහි) ඒ භික්ෂුව පෙර නොපවරන ලද්දේ පෙහෙකරුවන් වෙත එළඹ සිවුර ගැන අධික විධානයට පැමිණේ නම්: ‘ඇවැත්නි, මේ සිවුර මා උදෙසා වියනු ලැබේ. මෙය දිග ද පුළුල් ද කරන්න. ඝන ද, මනාව වියන ලද්දක් ද, සමව නූල් ඇද මනාව වියන ලද්දක් ද, කූරෙන් මනාව සකස් කළ එකක් ද, කොස්සෙන් මනාව පිරිසිදු කළ එකක් ද කරන්න. එසේ කළොත් අපි ද ආයුෂ්මතුන්ට යම් ස්වල්පයක් දෙන්නෙමු’ යි. ඒ භික්ෂුව මෙසේ කියා අවම වශයෙන් පිණ්ඩපාතයක් පමණක් වුව ද යම් ස්වල්පයක් දෙයි නම්, නිස්සග්ගිය පාචිත්තිය (අත්හළ යුතු භාණ්ඩය ඇති පාචිත්තිය) ඇවැත් වේ” යි.