5. 3. 8.
අච්චෙකචීවර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි එක්තරා මහ ඇමතියෙක් දුර ගමනක් යන්නට සූදානම් වෙමින් භික්ෂූන් වෙත දූතයෙකු යැවීය: “ස්වාමීන් වහන්සේලා වඩින සේක්වා, වස් සිවුරු (වස්සාවාසික) දෙන්නෙමි” යි. භික්ෂූහු “වස් විසූවන්ට පමණක් වස් සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ” යි සැක (කුකුස්) කරමින් නොවැඩියහ. එවිට ඒ මහ ඇමතියා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “මා විසින් දූතයෙකු යැවූ කල්හි ස්වාමීන් වහන්සේලා කෙසේ නම් නොවඩින්නෝ ද? මම සේනාව සමඟ යුද්ධයට යමි. ජීවත් වීම දැනගැනීම දුෂ්කර ය, මරණය දැනගැනීම දුෂ්කර ය” යි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මහ ඇමතියාගේ බස් භික්ෂූහු ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, හදිසි සිවුරක් (අච්චෙකචීවර) පිළිගෙන තබාගන්නට අනුමත කරමි” යි.
2. එසමයෙහි භික්ෂූහු “හදිසි සිවුරක් පිළිගෙන තබාගන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ” යි හදිසි සිවුරු පිළිගෙන සිවුරු කාලය ඉක්මවති. ඒ සිවුරු සිවුරු වැලෙහි පොදි බැඳ තිබේ. සෙනසුන් චාරිකාවෙහි (සෙනසුන් බලමින් ඇවිදීමෙහි) හැසිරෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ සිවුරු වැලෙහි පොදි බැඳ තිබෙන ඒ සිවුරු දුටුහ. දැක භික්ෂූන්ට මෙය වදාළහ: “ඇවැත්නි, සිවුරු වැලෙහි පොදි බැඳ තිබෙන මේ සිවුරු කාගේ දැ” යි. “ඇවැත්නි, අපගේ හදිසි සිවුරු ය” යි. “ඇවැත්නි, මේ සිවුරු කොපමණ කලක් තබන ලද්දේ දැ” යි. එවිට ඒ භික්ෂූහු තබා ඇති පරිදි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේට සැල කළහ. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂූහු හදිසි සිවුරු පිළිගෙන සිවුරු කාලය ඉක්මවන්නාහු දැ” යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
3. “මහණෙනි, භික්ෂූහු හදිසි සිවුරු පිළිගෙන සිවුරු කාලය ඉක්මවති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ හදිසි සිවුරු පිළිගෙන සිවුරු කාලය ඉක්මවන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“වස් තුන් මස නිමවන වප් මස පුන් පොහොයට දින දහයක් නොපැමිණි කල්හි, භික්ෂුවකට හදිසි සිවුරක් උපදින්නේ නම්, හදිසි සිවුරකැයි සලකන භික්ෂුව විසින් එය පිළිගත යුතුය. පිළිගෙන සිවුරු කාලය තෙක් තබාගත යුතුය. ඉදින් ඉන් ඔබ්බට තබන්නේ නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ” යි.
4. දසාහානාගතං යනු: පවාරණයට දින දහයක් නොපැමිණි කල්හි.
කත්තිකතෙමාසිකපුණ්ණමං යනු: පවාරණය කරන වප් මස පුන් පොහොය කියනු ලැබේ.
අච්චෙකචීවර නම්: (යමෙක්) සේනාව සමඟ යනු කැමැත්තේ හෝ වෙයි, දුර ගමනක් යනු කැමැත්තේ හෝ වෙයි, ගිලනෙක් හෝ වෙයි, ගැබිණියක් හෝ වෙයි, ශ්‍රද්ධාව නැත්තෙකුට ශ්‍රද්ධාව උපන්නේ හෝ වෙයි, නොපැහැදුණු කෙනෙකුට (බලවත්) පැහැදීම උපන්නේ හෝ වෙයි. ඉදින් හෙතෙම භික්ෂූන් වෙත “ස්වාමීන් වහන්සේලා වඩින සේක්වා, වස් සිවුරු (වස්සාවාසික) දෙන්නෙමි” යි දූතයෙකු එවන්නේ නම්, මෙය අච්චෙකචීවර (හදිසි සිවුර) නම් වේ.
හදිසි සිවුරක් (අච්චෙකචීවර) යයි සලකන භික්ෂුව විසින් පිළිගත යුතුය, පිළිගෙන සිවුරු කාලය දක්වා තැබිය යුතුය යනු: “මෙය අච්චෙකචීවරයයි” සලකුණක් කොට තැබිය යුතුය.
සිවුරු කාලය (චීවර කාල සමය) නම්: කඨිනය නොඅතුළ කල්හි වස් කාලයේ අන්තිම මාසයයි. කඨිනය අතුළ කල්හි මාස පහකි.
ඉදින් ඉන් ඔබ්බට තබන්නේ නම් යනු: කඨිනය නොඅතුළ කල්හි වස් කාලයේ අන්තිම දිනය ඉක්මවයි නම් නිස්සග්ගිය පාචිත්තිය (අත්හළ යුතු භාණ්ඩය ඇති පාචිත්තිය) වේ. කඨිනය අතුළ කල්හි කඨිනය ඉවත් කරන (කඨිනුද්ධාර) දිනය ඉක්මවයි නම් අත්හළ යුතු (නිස්සග්ගිය) වේ. එය සංඝයාට හෝ පිරිසකට හෝ පුද්ගලයෙකුට හෝ අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: “ස්වාමීනි, සිවුරු කාලය ඉක්මවන ලද මාගේ මේ හදිසි සිවුර අත්හළ යුතු (නිස්සග්ගිය) විය. මම මෙය සංඝයාට අත්හරිමි” යි -පෙ- දෙන්නේය යි -පෙ- දෙන්නාහුය යි -පෙ- ආයුෂ්මතුන්ට දෙමි” යි.
5. හදිසි සිවුරෙහි හදිසි සිවුරක් යන සංඥා ඇත්තේ සිවුරු කාලය ඉක්මවයි නම් නිස්සග්ගිය පාචිත්තිය වේ. හදිසි සිවුරෙහි සැක ඇත්තේ සිවුරු කාලය ඉක්මවයි නම් නිස්සග්ගිය පාචිත්තිය වේ. හදිසි සිවුරෙහි හදිසි සිවුරක් නොවේ යන සංඥා ඇත්තේ සිවුරු කාලය ඉක්මවයි නම් නිස්සග්ගිය පාචිත්තිය වේ. අධිෂ්ඨාන නොකළ දෙයෙහි අධිෂ්ඨාන කළේ යයි සංඥා ඇත්තේ -පෙ- විකප්ප නොකළ දෙයෙහි විකප්ප කළේ යයි සංඥා ඇත්තේ, අත් නොහළ දෙයෙහි අත්හළේ යයි සංඥා ඇත්තේ, නැති නොවූ දෙයෙහි නැති වූයේ යයි සංඥා ඇත්තේ, නොවැනසුණු දෙයෙහි වැනසුණේ යයි සංඥා ඇත්තේ, නොදැවුණු දෙයෙහි දැවුණේ යයි සංඥා ඇත්තේ, පැහැර නොගත් දෙයෙහි පැහැර ගත්තේ යයි සංඥා ඇත්තේ සිවුරු කාලය ඉක්මවයි නම් නිස්සග්ගිය පාචිත්තිය වේ.