5. 3. 2.
ඌනපඤ්චබන්ධන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක්තරා කුඹල්කරුවෙකු විසින් භික්ෂූන්ට මෙසේ ආරාධනා කරන ලද්දේ වෙයි: “පාත්රයකින් ප්‍රයෝජන ඇති යම් ආර්යයන් වහන්සේලා වෙත් ද, මම (ඔවුන්ට) පාත්‍ර දෙමි” යි. එසමයෙහි භික්ෂූහු පමණ නොදැන බොහෝ පාත්‍ර ඉල්ලා ගනිති. යමෙකුන්ට කුඩා පාත්‍ර ඇත්තේ ද, ඔවුහු මහත් පාත්‍ර ඉල්ලති. යමෙකුන්ට මහත් පාත්‍ර ඇත්තේ ද, ඔවුහු කුඩා පාත්‍ර ඉල්ලති. ඉක්බිති ඒ කුඹල්කරුවා භික්ෂූන්ට බොහෝ පාත්‍ර සාදන්නේ, විකිණිය යුතු වෙනත් බඩුවක් සාදන්නට නොහැකි වෙයි. තමාද නොයැපෙයි. ඔහුගේ අඹුදරුවෝද වෙහෙසෙති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ පමණ නොදැන බොහෝ පාත්‍ර ඉල්ලා ගනිත් ද?
මොහු මොවුන්ට බොහෝ පාත්‍ර සාදන්නේ, විකිණිය යුතු වෙනත් බඩුවක් සාදන්නට නොහැකි වෙයි. තමාද නොයැපෙයි. ඔහුගේ අඹුදරුවෝද වෙහෙසෙති” යි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂූහු පමණ නොදැන බොහෝ පාත්‍ර ඉල්ලා ගනිත් ද?” යි.
2. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, භික්ෂූහු පමණ නොදැන බොහෝ පාත්‍ර ඉල්ලා ගනිති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ පමණ නොදැන බොහෝ පාත්‍ර ඉල්ලා ගනිත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු (ශ්‍රද්ධාව නැති) අයගේ පැහැදීම පිණිස නොවේ -පෙ-” ගරහා ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පාත්‍රයක් ඉල්ලා නොගත යුතුය. යමෙක් ඉල්ලා ගනී නම් දුක්කට ඇවැත් වේ.”
3. එසමයෙහි එක්තරා භික්ෂුවකගේ පාත්‍රය බිඳුණේ වෙයි. ඉක්බිති ඒ භික්ෂුව “පාත්‍රයක් ඉල්ලා ගැනීම භාග්‍යවතුන් වහන්සේ විසින් තහනම් කරන ලදැ” යි සැක කරමින් (පාත්‍රයක්) ඉල්ලා නොගනියි. අත්වලින් පිඬු සිඟා හැසිරෙයි. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ අන්‍ය තීර්ථකයන් මෙන් අත්වලින් පිඬු සිඟා හැසිරෙත් ද?” යි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂූහු ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පාත්‍රය නැති වූ තැනැත්තාට හෝ පාත්‍රය බිඳුණු තැනැත්තාට හෝ පාත්‍රයක් ඉල්ලා ගන්නට අනුමත කරමි.”
4. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු “පාත්‍රය නැති වූ තැනැත්තාට හෝ පාත්‍රය බිඳුණු තැනැත්තාට හෝ පාත්‍රයක් ඉල්ලා ගන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ” යි, මඳක් බිඳුණු පමණින්ද, මඳක් කැඩුණු පමණින්ද, ඉරි වැටුණු පමණින්ද බොහෝ පාත්‍ර ඉල්ලා ගනිති. ඉක්බිති ඒ කුඹල්කරුවා භික්ෂූන්ට එසේම බොහෝ පාත්‍ර සාදන්නේ, විකිණිය යුතු වෙනත් බඩුවක් සාදන්නට නොහැකි වෙයි. තමාද නොයැපෙයි. ඔහුගේ අඹුදරුවෝද වෙහෙසෙති. මිනිස්සු එසේම හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ පමණ නොදැන බොහෝ පාත්‍ර ඉල්ලා ගනිත් ද? මොහු මොවුන්ට බොහෝ පාත්‍ර සාදන්නේ, විකිණිය යුතු වෙනත් බඩුවක් සාදන්නට නොහැකි වෙයි. තමාද නොයැපෙයි. ඔහුගේ අඹුදරුවෝද වෙහෙසෙති” යි.
5. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු මඳක් බිඳුණු පමණින්ද, මඳක් කැඩුණු පමණින්ද, ඉරි වැටුණු පමණින්ද බොහෝ පාත්‍ර ඉල්ලා ගනිත් ද?” යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි මඳක් බිඳුණු පමණින්ද, මඳක් කැඩුණු පමණින්ද, ඉරි වැටුණු පමණින්ද බොහෝ පාත්‍ර ඉල්ලා ගන්නහු යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි මඳක් බිඳුණු පමණින්ද, මඳක් කැඩුණු පමණින්ද, ඉරි වැටුණු පමණින්ද බොහෝ පාත්‍ර ඉල්ලා ගන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ (ශ්‍රද්ධාව නැත්තවුන්ගේ) පැහැදීම පිණිස හෝ නොවෙයි -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):