5. 2. 2.
සුද්ධකාළක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේසාලි නුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවති. විහාර චාරිකාවෙහි හැසිරෙන මිනිස්සු එය දැක, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නහු ය යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ (ශ්‍රද්ධාව නැත්තවුන්ගේ) පැහැදීම පිණිස නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.”
2. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
කාළක නම්: කළු පැහැය දෙවැදෑරුම් ය: උපතින් ම කළු වූයේ හෝ, සායම් පෙවීමෙන් කළු වූයේ හෝ ය.
සන්ථත නම්: අතුරා කරන ලද, නොවියන ලද (ඇතිරිය) ය.
කාරාපෙය්ය යනු: කරයි නම් හෝ කරවයි නම් හෝ, එහි යෙදීමෙහි දුක්කට ඇවැත් වේ. ලැබීමෙන් නිස්සග්ගිය (අත්හළ යුතු දෙයක්) වේ. එය සංඝයාට හෝ පිරිසකට හෝ පුද්ගලයෙකුට හෝ අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: “ස්වාමීනි, මා විසින් කරවන ලද හුදු කළු එළු ලොම්වලින් යුත් මේ ඇතිරිය අත්හළ යුත්තකි. මම මෙය සංඝයාට අත්හරිමි” -පෙ- දෙන්නේය -පෙ- දෙන්නාහුය -පෙ- “ආයුෂ්මතුන්ට දෙමි.”
3. තමා විසින් අඩක් කළ දෙය තමා ම නිම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. තමා විසින් අඩක් කළ දෙය අනුන් ලවා නිම කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් අඩක් කළ දෙය තමා නිම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් අඩක් කළ දෙය අනුන් ලවා නිම කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අන් කෙනෙකු පිණිස කරයි නම් හෝ කරවයි නම් හෝ, දුක්කට ඇවැත් වේ. අන් කෙනෙකු කළ (ඇතිරියක්) ලැබ පරිභෝග කරයි නම්, දුක්කට ඇවැත් වේ.
4. වියනක් හෝ බිම ඇතිරිල්ලක් හෝ තිර රෙදි වැටක් හෝ මෙට්ටයක් හෝ කොට්ටයක් හෝ කරයි නම්, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සුද්ධකාළක ශික්ෂාපදය නිමි.
5. 2. 3.
ද්වේභාග ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු “හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවීම භාග්‍යවතුන් වහන්සේ විසින් තහනම් කරන ලදී” යි සිතා, මඳක් ම සුදු එළු ලොම් (ඇතිරියේ) කෙළවරෙහි යොදා, පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු මඳක් ම සුදු එළු ලොම් කෙළවරෙහි යොදා පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි මඳක් ම සුදු එළු ලොම් කෙළවරෙහි යොදා පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවන්නහු ය යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් මඳක් ම සුදු එළු ලොම් කෙළවරෙහි යොදා පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස නොවේ -පෙ-” මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):