5. 2. 3.
ද්වේභාග ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු “හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවීම භාග්‍යවතුන් වහන්සේ විසින් තහනම් කරන ලදී” යි සිතා, මඳක් ම සුදු එළු ලොම් (ඇතිරියේ) කෙළවරෙහි යොදා, පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු මඳක් ම සුදු එළු ලොම් කෙළවරෙහි යොදා පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි මඳක් ම සුදු එළු ලොම් කෙළවරෙහි යොදා පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවන්නහු ය යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් මඳක් ම සුදු එළු ලොම් කෙළවරෙහි යොදා පෙර සේ ම හුදු කළු එළු ලොම්වලින් ඇතිරි කරවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස නොවේ -පෙ-” මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“අලුත් ඇතිරියක් කරවන භික්ෂුව විසින් හුදු කළු එළු ලොම් කොටස් දෙකක් ගත යුතුය, තුන්වන කොටස සුදු එළු ලොම් ද, හතරවන කොටස කිඹුල් පැහැති (දුඹුරු පැහැති) එළු ලොම් ද ගත යුතුය. ඉදින් භික්ෂුව හුදු කළු එළු ලොම් කොටස් දෙකක් ද, තුන්වන කොටස සුදු එළු ලොම් ද, හතරවන කොටස කිඹුල් පැහැති එළු ලොම් ද නොගෙන අලුත් ඇතිරියක් කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.”
2. නවං යනු: කිරීම සැලකීමෙන් (අලුත් යැයි) කියනු ලැබේ.
සන්ථතං යනු: අතුරා කරන ලද, නොවියන ලද (ඇතිරිය) ය.
කාරයමානෙන යනු: කරන්නා විසින් හෝ කරවන්නා විසින් හෝ.
ද්වෙ භාගා සුද්ධකාළකානං එළකලොමානං ආදාතබ්බා යනු: කිරා තුලා (බර ප්‍රමාණ) දෙකක් ගත යුතුය.
තතියං ඔදාතානං යනු: සුදු එළු ලොම් තුලාවක්.
චතුත්ථං ගොචරියානං යනු: කිඹුල් පැහැති එළු ලොම් තුලාවක්.
අනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලොමානං තතියං ඔදාතානං චතුත්ථං ගොචරියානං යනු: හුදු කළු එළු ලොම් තුලා දෙකක් ද, සුදු එළු ලොම් තුලාවක් ද, කිඹුල් පැහැති එළු ලොම් තුලාවක් ද නොගෙන අලුත් ඇතිරියක් කරයි නම් හෝ කරවයි නම් හෝ, එහි යෙදීමෙහි දුක්කට ඇවැත් වේ. ලැබීමෙන් නිස්සග්ගිය (අත්හළ යුතු දෙයක්) වේ. එය සංඝයාට හෝ පිරිසකට හෝ පුද්ගලයෙකුට හෝ අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: “ස්වාමීනි, හුදු කළු එළු ලොම් තුලා දෙකක් ද, සුදු එළු ලොම් තුලාවක් ද, කිඹුල් පැහැති එළු ලොම් තුලාවක් ද නොගෙන මා විසින් කරවන ලද මේ අලුත් ඇතිරිය අත්හළ යුත්තකි. මම මෙය සංඝයාට අත්හරිමි” -පෙ- දෙන්නේය -පෙ- දෙන්නාහුය -පෙ- “ආයුෂ්මතුන්ට දෙමි.”
3. තමා විසින් අඩක් කළ ඇතිරිය තමා විසින්ම නිම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. තමා විසින් අඩක් කළ ඇතිරිය අනුන් ලවා නිම කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් අඩක් කළ ඇතිරිය තමා විසින් නිම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් අඩක් කළ ඇතිරිය අනුන් ලවා නිම කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. වෙනත් කෙනෙකු සඳහා කරයි නම් හෝ කරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ.
4. සුදු එළු ලොම් තුලාවක් ද කිඹුල් පැහැති එළු ලොම් තුලාවක් ද ගෙන කරයි නම්, සුදු එළු ලොම් වැඩි ප්‍රමාණයක් ද කිඹුල් පැහැති එළු ලොම් වැඩි ප්‍රමාණයක් ද ගෙන කරයි නම්, නොමුසු සුදු එළු ලොම් ද නොමුසු කිඹුල් පැහැති එළු ලොම් ද ගෙන කරයි නම්, වියනක් හෝ බිම ඇතිරිල්ලක් හෝ තිර රෙදි වැටක් හෝ මෙට්ටයක් හෝ කොට්ටයක් හෝ කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
ද්වේභාග ශික්ෂාපදය නිමි.