5. 2. 1.
කෝසිය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආළවි නුවර අසල අග්ගාළව චෛත්‍යයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු සේද (කොසිය) නිපදවන්නන් වෙත එළඹ “ඇවැත්නි, බොහෝ සේද පණුවන් පිසන්න. අපට ද දෙන්න. අපි ද සේද මිශ්‍ර ඇතිරියක් කරන්නට කැමැත්තෙමු” යි මෙසේ කියති. ඒ මිනිස්සු “ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ අප වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ සේද පණුවන් පිසන්න. අපට ද දෙන්න. අපි ද සේද මිශ්‍ර ඇතිරියක් කරන්නට කැමැත්තෙමු’ යි කෙසේ නම් කියන්නාහු ද? ජීවිකාව නිසා, අඹුදරුවන් රකින කරුණින් බොහෝ කුඩා සතුන් මරණයට පමුණුවන අපට ද අලාභයෙකි, අපට ද අභාග්‍යයෙකි” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු “ෂඩ්වර්ගික භික්ෂූහු සේද නිපදවන්නන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ සේද පණුවන් පිසන්න. අපට ද දෙන්න. අපි ද සේද මිශ්‍ර ඇතිරියක් කරන්නට කැමැත්තෙමු’ යි කෙසේ නම් කියන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි සේද නිපදවන්නන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ සේද පණුවන් පිසන්න. අපට ද දෙන්න. අපි ද සේද මිශ්‍ර ඇතිරියක් කරන්නට කැමැත්තෙමු’ යි මෙසේ කියන්නහු ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්හා කළ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් සේද නිපදවන්නන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ සේද පණුවන් පිසන්න. අපට ද දෙන්න. අපි ද සේද මිශ්‍ර ඇතිරියක් කරන්නට කැමැත්තෙමු’ යි කියන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු (ශ්‍රද්ධාව නැති) අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් සේද මිශ්‍ර ඇතිරියක් කරවන්නේ නම්, (එය) නිස්සග්ගිය පාචිත්තිය (අත්හළ යුතු භාණ්ඩය ඇති පාචිත්තිය) වේ.”
2. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
සන්ථත (ඇතිරිය) නම්: (සේද කෙඳි) අතුරා, නොවියා කරන ලද්දයි.
කාරාපෙය්‍ය (කරවන්නේ නම්) යනු: එක් සේද කෙන්දකින් වුව ද මිශ්‍ර කොට කරයි නම් හෝ කරවයි නම් හෝ, එහි යෙදීමෙහි දුක්කට ඇවැත් වේ. ලැබීමෙන් (එය) නිස්සග්ගිය (අත්හළ යුතු) වේ. සංඝයාට හෝ පිරිසකට (ගණයට) හෝ පුද්ගලයකුට හෝ අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: “ස්වාමීනි, මා විසින් කරවන ලද සේද මිශ්‍ර මේ ඇතිරිය අත්හළ යුත්තකි. මම මෙය සංඝයාට අත්හරිමි” යි -පෙ- දෙන්නේ ය යි -පෙ- දෙන්නාහු ය යි -පෙ- “ආයුෂ්මතුන්ට දෙමි” යි.
3. තමා විසින් අඩක් කළ (ඇතිරිය) තමා ම නිම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. තමා විසින් අඩක් කළ දෙය අනුන් ලවා නිම කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් අඩක් කළ දෙය තමා නිම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් අඩක් කළ දෙය අනුන් ලවා නිම කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. අන් කෙනෙකු පිණිස කරයි නම් හෝ කරවයි නම් හෝ, දුක්කට ඇවැත් වේ. අන් කෙනෙකු කළ (ඇතිරියක්) ලැබ පරිභෝග කරයි නම්, දුක්කට ඇවැත් වේ.
4. වියනක් හෝ බිම ඇතිරිල්ලක් හෝ තිර රෙදි වැටක් හෝ මෙට්ටයක් හෝ කොට්ටයක් හෝ කරයි නම්, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
කෝසිය ශික්ෂාපදය නිමි.
5. 2. 2.
සුද්ධකාළක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේසාලි නුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවති. විහාර චාරිකාවෙහි හැසිරෙන මිනිස්සු එය දැක, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නහු ය යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ (ශ්‍රද්ධාව නැත්තවුන්ගේ) පැහැදීම පිණිස නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් හුදු කළු එළු ලොම්වලින් ඇතිරියක් කරවයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.”
2. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
කාළක නම්: කළු පැහැය දෙවැදෑරුම් ය: උපතින් ම කළු වූයේ හෝ, සායම් පෙවීමෙන් කළු වූයේ හෝ ය.
සන්ථත නම්: අතුරා කරන ලද, නොවියන ලද (ඇතිරිය) ය.