5. 1. 9.
දෙවන උපක්ඛට ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට මෙසේ කීය: “මම ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරක් පූජා කරන්නෙමි.” ඔහු ද මෙසේ කීය: “මම ද ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරක් පූජා කරන්නෙමි.” පිඬු සිඟා වඩින එක්තරා භික්ෂුවක් ඒ පුරුෂයන්ගේ මේ කතාබහ ඇසූහ. ඉක්බිති ඒ භික්ෂුව ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වහන්සේට මෙසේ කීහ: “ඇවැත් උපනන්දයෙනි, ඔබ මහා පින් ඇත්තෙක් වෙහි. අසවල් තැන එක්තරා පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට ‘මම ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරක් පූජා කරන්නෙමි’ යි කීය. ඔහු ද ‘මම ද ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරක් පූජා කරන්නෙමි’ යි කීය.” “ඇවැත්නි, ඔවුහු මට උපස්ථායකයෝ වෙති” යි (උපනන්දයන් වහන්සේ කීහ).
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වහන්සේ ඒ පුරුෂයන් වෙත එළඹියහ. එළඹ ඒ පුරුෂයන්ට මෙසේ කීහ: “ඇවැත්නි, ඔබ මට සිවුරු පූජා කරන්නට කැමැත්තහු ය යනු සැබෑ ද?” “එසේ ය ආර්යයන් වහන්ස, ‘ආර්ය උපනන්දයන් වහන්සේට සිවුරු පූජා කරන්නෙමු’ යි අපට මෙබඳු සිතක් ඇත්තේ ය.” “ඇවැත්නි, ඉදින් ඔබ මට සිවුරු පූජා කරන්නට කැමැති නම්, මෙබඳු සිවුරකින් පූජා කරව්. මා පරිහරණය නොකරන යම් සිවුරු වේ නම්, ඒවා පූජා කරන ලද්දේ වුව ද මම ඒවායින් කුමක් කරන්නෙම් ද?”
3. එකල්හි ඒ පුරුෂයෝ “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මහේච්ඡයෝ ය (ආශා බොහෝ ය), ලද දෙයින් නොසතුටු වන්නෝ ය. මොවුන්ට සිවුරු පූජා කිරීම පහසු නොවේ. කෙසේ නම් ආර්ය උපනන්දයන් වහන්සේ අප විසින් කලින් නොපවරන ලද්දේ අප වෙත එළඹ සිවුර පිළිබඳව අධික නියම කරන්නේ ද?” යි දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති. දොස් කියන, නින්දා කරන, අගුණ පතුරුවන ඒ පුරුෂයන්ගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වහන්සේ කලින් නොපවරන ලද්දේ ගෘහපතියන් වෙත එළඹ සිවුර පිළිබඳව අධික නියම කරන්නේ ද?” යි දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති.
4. ඉක්බිති ඒ භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. “උපනන්දය, ඔබ කලින් නොපවරන ලද්දේ ගෘහපතියන් වෙත එළඹ සිවුර පිළිබඳව අධික නියම කළේ ය යනු සැබෑ ද?” “සැබෑව, භාග්‍යවතුන් වහන්ස.” “උපනන්දය, ඔවුහු ඔබගේ නෑයෝ ද, නෑයන් නොවන්නෝ ද?” “නෑයන් නොවන්නෝ ය, භාග්‍යවතුන් වහන්ස.” “හිස් පුරුෂය, නෑයෙකු නොවන්නේ නෑයන් නොවන්නන්ට සුදුසු දෙය හෝ නුසුදුසු දෙය හෝ, ඇති දෙය හෝ නැති දෙය හෝ නොදනියි. හිස් පුරුෂය, එසේ තිබිය දී ඔබ කලින් නොපවරන ලද්දේ නෑයන් නොවන ගෘහපතියන් වෙත එළඹ සිවුර පිළිබඳව අධික නියම කරන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“භික්ෂුවක් ම උදෙසා නෑයන් නොවන ගෘහපතියන් දෙදෙනෙකු විසින් හෝ ගෘහපතිනියන් දෙදෙනෙකු විසින් හෝ ‘අපි මේ වෙන් වෙන් වූ සිවුරු මිලයෙන් වෙන් වෙන් වූ සිවුරු මිලදී ගෙන මෙනම් ඇති භික්ෂුවට සිවුරු පූජා කරන්නෙමු’ යි වෙන් වෙන් වූ සිවුරු මිල සූදානම් කරන ලද්දේ වේ ද, එහි ඒ භික්ෂුව කලින් නොපවරන ලද්දේ (ඔවුන් වෙත) එළඹ ‘ආයුෂ්මතුනි, ඔබ දෙදෙනා ම එක් ව මේ වෙන් වෙන් වූ සිවුරු මිලයෙන් මෙබඳු වූ හෝ මෙබඳු වූ හෝ සිවුරක් මිලදී ගෙන මට පූජා කරන්නහු නම් මැනවි’ යි, යහපත් දෙයක් කැමැති බැවින් සිවුර පිළිබඳව අධික නියම කරයි නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ.”
5. භික්ඛුං පනෙව උද්දිස්ස යනු: භික්ෂුව සඳහා, භික්ෂුව අරමුණු කොට, භික්ෂුවට සිවුරු පූජා කරනු කැමැත්තෝ.
උභින්නං යනු: දෙදෙනෙකුගේ.
අඤ්ඤාතක නම්: මව් පසින් හෝ පිය පසින් හෝ සත්වන මුතුන් මිත්තන් පරම්පරාව දක්වා ලේ නෑකමින් සම්බන්ධ නොවූවෝ ය.
ගහපති නම්: ගිහිගෙයි වසන යම් කිසි කෙනෙක් වෙත් ද, ඔවුහු ය.
ගහපතානී නම්: ගිහිගෙයි වසන යම් කිසි ස්ත්‍රීහු ය.
චීවරචෙතාපන්න (සිවුරු මිල) නම්: අමු රන් (හිරඤ්ඤ) හෝ රත්රන් හෝ මුතු හෝ මැණික් හෝ පබළු හෝ පළිඟු හෝ රෙදි හෝ නූල් හෝ කපු හෝ ය.
ඉමෙහි චීවරචෙතාපන්නෙහි යනු: සපයා තබා ඇති (සිවුරු මිලෙන්). චෙතාපෙත්වා යනු: හුවමාරු කොට (මිලදී ගෙන).
අච්ඡාදෙස්සාම යනු: දෙන්නෙමු.
තත්ර චෙ සො භික්ඛු යනු: යම් භික්ෂුවක් උදෙසා සිවුරු මිල සූදානම් කරන ලද්දේ වේ ද, ඒ භික්ෂුව.
පුබ්බෙ අප්පවාරිතො යනු: “ස්වාමීනි, ඔබට කෙබඳු සිවුරකින් ප්‍රයෝජන ද? ඔබට කෙබඳු සිවුරක් මිලදී ගන්නෙමු ද?” යි කලින් නොකියන ලද්දේ වෙයි.
උපසඞ්කමිත්වා යනු: ගෙට ගොස්, යම් කිසි තැනක දී එළඹ.