5. 1. 10.
රාජ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායක වූ මහා ඇමතියෙක් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට දූතයෙකු ලවා සිවුරු මිලක් යැවීය: “මේ සිවුරු මිලෙන් සිවුරක් මිලදී ගෙන උපනන්ද ආර්යයන් වහන්සේට සිවුරෙන් පුදව” යි. එකල්හි ඒ දූතයා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට මෙය කීයේය: “ස්වාමීනි, ආයුෂ්මතුන් උදෙසා මේ සිවුරු මිල ගෙන එන ලදී. ආයුෂ්මතුන් සිවුරු මිල පිළිගනිත්වා” යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ දූතයාට මෙය කීහ: “ඇවැත්නි, අපි සිවුරු මිල නොපිළිගනිමු. සුදුසු කාලයෙහි කැප වූ සිවුරක් නම් අපි පිළිගනිමු” යි. මෙසේ කී කල්හි ඒ දූතයා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට මෙය කීයේය: “ආයුෂ්මතුන්ට කිසියම් කැපකරුවෙක් ඇද්ද?” යි. එසමයෙහි එක්තරා උපාසකයෙක් කිසියම් කටයුත්තක් සඳහා ආරාමයට ගියේය. එකල්හි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ දූතයාට මෙය කීහ: “ඇවැත්නි, මේ උපාසකයා භික්ෂූන්ගේ කැපකරුවා ය” යි. ඉක්බිති ඒ දූතයා ඒ උපාසකයාට (“මේ මිලෙන් සිවුරක් මිලදී ගෙන තෙරුන් වහන්සේට දෙව” යි) දන්වා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට මෙය කීයේය: “ස්වාමීනි, ආයුෂ්මතුන් යම් කැපකරුවෙකු පෙන්වා දුන් සේක් නම්, ඔහුට මා විසින් දන්වන ලදී. ආයුෂ්මතුන් සුදුසු කාලයෙහි ඔහු වෙත එළඹෙත්වා. ඔහු ඔබවහන්සේට සිවුරෙන් පුදනු ඇත” යි.
2. එසමයෙහි ඒ මහා ඇමතියා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත දූතයෙකු යැවීය: “ආර්යයන් වහන්සේ ඒ සිවුර පරිභෝග කරත්වා. ආර්යයන් වහන්සේ ඒ සිවුර පරිභෝග කරනු අපි කැමැත්තෙමු” යි. එකල්හි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයාට කිසිවක් නොකීහ. දෙවන වරටත් ඒ මහා ඇමතියා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත දූතයෙකු යැවීය: “ආර්යයන් වහන්සේ ඒ සිවුර පරිභෝග කරත්වා. ආර්යයන් වහන්සේ ඒ සිවුර පරිභෝග කරනු අපි කැමැත්තෙමු” යි. දෙවන වරටත් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයාට කිසිවක් නොකීහ. තුන්වන වරටත් ඒ මහා ඇමතියා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත දූතයෙකු යැවීය: “ආර්යයන් වහන්සේ ඒ සිවුර පරිභෝග කරත්වා. ආර්යයන් වහන්සේ ඒ සිවුර පරිභෝග කරනු අපි කැමැත්තෙමු” යි.
3. එසමයෙහි නියම්ගම්වාසීන්ගේ රැස්වීමක් වෙයි. නියම්ගම්වාසීන් විසින් ද “යමෙක් පසුව පැමිණේ නම්, ඔහු පනහකින් බැඳුණේ වේ (කහවණු පනහක් දඩ ගෙවිය යුතු වේ)” යි කතිකාවක් කරන ලද්දේ වෙයි. එකල්හි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයා වෙත එළඹියහ. එළඹ ඒ උපාසකයාට මෙය කීහ:
“ඇවැත්නි, මට සිවුරක් වුවමනා ය” යි. “ස්වාමීනි, අද එක් දවසක් ඉවසා සිටිනු මැනව. අද නියම්ගම්වාසීන්ගේ රැස්වීමක් වෙයි. නියම්ගම්වාසීන් විසින් ද ‘යමෙක් පසුව පැමිණේ නම්, ඔහු පනහකින් බැඳුණේ වේ (කහවණු පනහක් දඩ ගෙවිය යුතු වේ)’ යි කතිකාවක් කරන ලද්දේ වෙයි.” “ඇවැත්නි, අදම මට සිවුර දෙව” යි (ඔහුගේ) ඉණ පටියෙන් අල්ලා ගත්හ. ඉක්බිති ඒ උපාසකයා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් විසින් දැඩි ලෙස පෙළනු ලබන්නේ, ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට සිවුරක් මිලදී ගෙන දී පසුව ගියේය. මිනිස්සු ඒ උපාසකයාට මෙය කීහ: “ආර්යය, ඔබ කුමක් හෙයින් පසුව පැමිණියෙහි ද? (කහවණු) පනහකින් පැරදුණෙහි ය (පනහක් දඩ ගෙවිය යුතු ය)” යි.
4. ඉක්බිති ඒ උපාසකයා ඒ මිනිසුන්ට මේ කරුණ දැන්වීය. මිනිස්සු දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති: “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මහේච්ඡ (බොහෝ ආශා ඇති) වූවෝ ය, නොසතුටු වූවෝ ය. මොවුන්ට මෙහෙයක් වත් කිරීම පහසු නොවේ. කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද තෙමේ උපාසකයා විසින් ‘ස්වාමීනි, අද එක් දවසක් ඉවසා සිටිනු මැනව’ යි කියනු ලබන්නේ ඉවසා නොසිටින්නේ ද?” යි. දොස් කියන, නින්දා කරන, අගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ උපාසකයා විසින් ‘ස්වාමීනි, අද එක් දවසක් ඉවසා සිටිනු මැනව’ යි කියනු ලබන්නාහු ඉවසා නොසිටින්නාහු ද?” යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. -පෙ- “උපනන්දය, ඔබ උපාසකයා විසින් ‘ස්වාමීනි, අද එක් දවසක් ඉවසා සිටිනු මැනව’ යි කියනු ලබන්නේ ඉවසා නොසිටියේ සැබෑ ද?” යි. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ උපාසකයා විසින් ‘ස්වාමීනි, අද එක් දවසක් ඉවසා සිටිනු මැනව’ යි කියනු ලබන්නේ ඉවසා නොසිටින්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු (ශ්‍රද්ධාව නැති) අයගේ පැහැදීම පිණිස නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් උදෙසා ම රජෙක් හෝ රාජභොග්ගයෙක් (රජුගෙන් වැටුප් ලබන්නෙක්) හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගෘහපතියෙක් හෝ ‘මේ සිවුරු මිලෙන් සිවුරක් මිලදී ගෙන මෙනම් ඇති භික්ෂුවට සිවුරක් පුදන්න’ යි දූතයකු අත සිවුරු මිලක් එවන්නේ නම්, ඉදින් ඒ දූතයා ඒ භික්ෂුව වෙත එළඹ ‘ස්වාමීනි, මේ සිවුරු මිල ආයුෂ්මතුන් උදෙසා ගෙන එන ලදී. ආයුෂ්මතුන් වහන්සේ සිවුරු මිල පිළිගන්නා සේක්වා’ යි මෙසේ කියන්නේ නම්, ඒ භික්ෂුව විසින් ඒ දූතයාට මෙසේ කිව යුතුය: ‘ඇවැත්නි, අපි සිවුරු මිල නොපිළිගනිමු. සුදුසු කාලයෙහි කැප වූ සිවුරක් නම් අපි පිළිගනිමු’ යි. ඉදින් ඒ දූතයා ඒ භික්ෂුවට ‘ආයුෂ්මතුන්ට කිසියම් කැපකරුවෙක් (වතාවත් කරන්නෙක්) ඇද්ද?’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, සිවුරක් වුවමනා භික්ෂුව විසින් ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ ‘ඇවැත්නි, මොහු භික්ෂූන්ගේ කැපකරුවා ය’ යි කැපකරුවා පෙන්වා දිය යුතුය. ඉදින් ඒ දූතයා ඒ කැපකරුවාට (කළ යුත්ත) දන්වා ඒ භික්ෂුව වෙත එළඹ ‘ස්වාමීනි, ආයුෂ්මතුන් වහන්සේ යම් කැපකරුවකු පෙන්වා දුන් සේක් ද, මා විසින් ඔහුට දන්වන ලදී. ආයුෂ්මතුන් වහන්සේ සුදුසු කාලයෙහි ඔහු වෙත එළඹෙන සේක්වා. ඔහු ඔබ වහන්සේට සිවුරක් පුදන්නේය’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, සිවුරක් වුවමනා භික්ෂුව විසින් කැපකරුවා වෙත එළඹ ‘ඇවැත්නි, මට සිවුරක් වුවමනා ය’ යි දෙතුන් වරක් ඔහුට දැන්විය යුතුය, සිහි කැඳවිය යුතුය.