5. 1. 5.
චීවරපටිග්ගහණ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ සැවැත් නුවර වැඩ වසති. ඉක්බිති උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස සැවැත් නුවරට වැඩම කළහ. සැවැත් නුවර පිඬු පිණිස හැසිර, දන් වැළඳීමෙන් පසු පිණ්ඩපාතයෙන් ආපසු හැරී අන්ධවනය කරා වැඩම කළහ. එහි වැඩම කොට දිවා විහරණය පිණිස අන්ධවනයට ඇතුළු වී එක්තරා රුක් මුලක දිවා විහරණයෙහි වැඩ හුන්හ. එසමයෙහි සොරකම් කළ (ගෙවල් බිඳීම් ආදියෙන් අනුන්ගේ බඩු පැහැර ගත්) සොරු එළදෙනක් මරා මස් ගෙන අන්ධවනයට ඇතුළු වූහ. සොර නායකයා එක්තරා රුක් මුලක දිවා විහරණයෙහි වැඩ හුන් උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ දුටුවේය. දැක, ‘ඉදින් මාගේ පුතුන් හා සහෝදරයන් මේ භික්ෂුණීන් වහන්සේ දකින්නාහු නම් උන්වහන්සේට හිරිහැර කරන්නාහ’ යි සිතා අන් මගකින් ගියේය. ඉක්බිති ඒ සොර නායකයා මස් පිසුණු කල්හි හොඳම මස් ගෙන කොළ පොට්ටනියක් බැඳ, උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේට නුදුරු තැන ගසක එල්වා, “ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යමෙක් මෙය දකියි නම්, දෙන ලද්දක් ලෙසම ගෙන යේවා” යි කියා ගියේය. උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට, මේ වචනය කියන ඒ සොර නායකයාගේ කීම ඇසූහ. ඉක්බිති උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ ඒ මස් ගෙන මෙහෙණවරට වැඩම කළහ. ඉක්බිති උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ඒ මස් පිළියෙළ කොට, උතුරු සළුවෙහි පොදියක් බැඳ, අහසට නැගී වේළුවනාරාමයෙහි බැස සිටියහ.
2. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට වැඩම කළ සේක. ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ විහාරය රකින වාරය ලැබ විහාරයෙහි තනිව නැවතී සිටියහ. ඉක්බිති උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙසේ කීහ: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩ සිටින සේක් ද?” “නැගණිය, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට වැඩම කළ සේක.” “ස්වාමීනි, මේ මස් භාග්‍යවතුන් වහන්සේට දෙන්න.” “නැගණිය, ඔබ විසින් භාග්‍යවතුන් වහන්සේ මසින් සතුටු කරන ලද සේක. ඉදින් ඔබ මට අඳනය (අන්තරවාසකය) දෙන්නෙහි නම්, මෙසේ මම ද අන්තරවාසකයෙන් සතුටු කරන ලද්දෙක් වන්නෙමි.” “ස්වාමීනි, ස්ත්‍රීන් වන අපි (සිවුපසය) දුකසේ ලබන්නියෝ වෙමු. මෙය ද මාගේ අන්තිම වූ පස්වැනි සිවුරයි. මම නොදෙන්නෙමි.” “නැගණිය, යම් සේ පුරුෂයෙක් ඇතෙකු දී ඇතාගේ බඳ පටියෙහි ඇලෙන්නේ ද, එසේම නැගණිය, ඔබ භාග්‍යවතුන් වහන්සේට මස් දී මා කෙරෙහි අන්තරවාසකයෙහි ඇලෙන්නෙහිය.” ඉක්බිති උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් විසින් තදින් පෙළනු ලැබ, අන්තරවාසකය දී මෙහෙණවරට වැඩම කළහ. භික්ෂුණීහු උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේගේ පාසිවුරු පිළිගනිමින් උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේට මෙසේ කීහ: “ආර්යාවෙනි, ඔබගේ අන්තරවාසකය කොහි ද?” උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂුණීහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්ය උදායීයන් වහන්සේ භික්ෂුණියකගේ සිවුරක් පිළිගන්නේ ද? ස්ත්‍රිය (සිවුපසය) දුකසේ ලබන්නියකි.” ඉක්බිති ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ.
3. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙරුන් භික්ෂුණියකගේ සිවුරක් පිළිගන්නේ ද?” ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “උදායිය, ඔබ භික්ෂුණියකගේ සිවුරක් පිළිගත් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” “උදායිය, ඇය ඔබට නෑදෑ තැනැත්තියක් ද, නෑයෙකු නොවන්නියක් ද?” “නෑයෙකු නොවන්නියකි, භාග්‍යවතුන් වහන්ස.” “හිස් පුරුෂය, නෑයෙකු නොවන තැනැත්තා නෑයෙකු නොවන තැනැත්තියට සුදුසු දේ හෝ නුසුදුසු දේ හෝ, ඇති දේ හෝ නැති දේ හෝ නොදනියි. එසේ තිබියදී හිස් පුරුෂය, ඔබ නෑයෙකු නොවන භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගත්තෙහිය. හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස නොවෙයි -පෙ- මහණෙනි, මෙසේ මේ ශික්ෂාපදය උදෙසිය යුතුයි:”
“යම් භික්ෂුවක් නෑයෙකු නොවන භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගන්නේ නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.”
මෙසේ මේ ශික්ෂාපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට පනවන ලදී.
[මුල් පැනවීම.]
4. එසමයෙහි භික්ෂූහු කුකුස් කරමින් (සැක සිතමින්) භික්ෂුණීන්ගේ හුවමාරු සිවුරු (පාරිවට්ටක චීවර) නොපිළිගනිති. භික්ෂුණීහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යයන් වහන්සේලා අපගේ හුවමාරු සිවුරු නොපිළිගන්නාහු ද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ භික්ෂුණීන්ගේ කතාව භික්ෂූහු ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පස් දෙනෙකුගෙන් හුවමාරු සිවුරු පිළිගැනීමට අනුමත කරමි: භික්ෂුවගෙන්, භික්ෂුණියගෙන්, සික්ඛමානාවගෙන් (උපසම්පදාවට පෙර දෙවසක් ශික්ෂා හයක හික්මෙන තැනැත්තියගෙන්), සාමණේරයාගෙන්, සාමණේරියගෙන්. මහණෙනි, මේ පස් දෙනාගෙන් හුවමාරු සිවුරු පිළිගැනීමට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):”
“යම් භික්ෂුවක් හුවමාරුවක් හැර, නෑයෙකු නොවන භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගන්නේ නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.”
[දෙවන පැනවීම.]
5. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
අඤ්ඤාතිකා නම්: මව් පැත්තෙන් හෝ පිය පැත්තෙන් හෝ සත්වන මුත්තා පරම්පරාව දක්වා ලේ නෑකමින් සම්බන්ධ නොවූ තැනැත්තියයි.
භික්ඛුනී නම්: උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලත් තැනැත්තියයි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන්, විකප්පනය කිරීමට සුදුසු අවම ප්‍රමාණය ඇති එක්තරා සිවුරකි.
අඤ්ඤත්‍ර පාරිවට්ටකා යනු: හුවමාරුවක් හැර පිළිගනියි.