5. 1. 4.
පුරාණචීවර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේගේ පැරණි බිරිය (පුරාණදුතියිකාව) භික්ෂුණීන් අතර පැවිදි වූවා වෙයි. ඇය නිතර නිතර ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ වෙත පැමිණෙයි. ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ද නිතර නිතර ඒ භික්ෂුණිය වෙත යති. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ භික්ෂුණිය වෙත දන් වළඳති. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පා සිවුරු ගෙන ඒ භික්ෂුණිය වෙත එළඹියහ. එළඹ ඒ භික්ෂුණිය ඉදිරියෙහි අංගජාතය (රහස් අවයවය) විවෘත කොට ආසනයෙහි හුන්හ. ඒ භික්ෂුණිය ද ආයුෂ්මත් උදායී තෙරුන් ඉදිරියෙහි අංගජාතය විවෘත කොට ආසනයෙහි හිඳගත්තාය. එවිට ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ රාගයෙන් ඇලුණේ ඒ භික්ෂුණියගේ අංගජාතය දෙස බලා සිටියහ. උන්වහන්සේගේ ශුක්රය (අසුචිය) පිට විය.
2. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ භික්ෂුණියට මෙසේ කීහ: “නැගණිය, ගොස් දිය ගෙනෙන්න. අඳනය (අන්තරවාසකය) සෝදන්නෙමි”යි. “ආර්යයන් වහන්ස, දෙනු මැනවි. මම ම සෝදන්නෙමි”යි කියා ඇය ඒ අසුචියෙන් එක් කොටසක් මුවින් ගත්තාය. එක් කොටසක් අංගජාතයෙහි බහාලුවාය. ඇය එයින් ගැබ් ගත්තාය. භික්ෂුණීහු මෙසේ කීහ: “මේ භික්ෂුණිය බඹසර නොරකින්නියකි. ගැබිනියකි”යි. “ආර්යාවෙනි, මම බඹසර නොරකින්නියක් නොවෙමි”යි ඇය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවාය. භික්ෂුණීහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්ය උදායීයන් වහන්සේ භික්ෂුණියක ලවා පැරණි සිවුරක් සෝදවන්නේ ද?”යි. ඉක්බිති ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ භික්ෂුණියක ලවා පැරණි සිවුරක් සෝදවන්නේ ද?”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. -පෙ- “උදායිය, ඔබ භික්ෂුණියක ලවා පැරණි සිවුරක් සෝදවූ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” “උදායිය, ඇය ඔබට නෑදෑ තැනැත්තියක් ද? නෑයෙකු නොවන තැනැත්තියක් ද?” “භාග්‍යවතුන් වහන්ස, නෑයෙකු නොවන තැනැත්තියකි.” “හිස් පුරුෂය, නෑයෙකු නොවන තැනැත්තා නෑයෙකු නොවන තැනැත්තියට සුදුසු දෙය හෝ නුසුදුසු දෙය හෝ, පැහැදීම ඇති කරන දෙය හෝ නොපහදවන දෙය හෝ නොදනියි. එසේ තිබියදී හිස් පුරුෂය, ඔබ නෑයෙකු නොවන භික්ෂුණියක ලවා පැරණි සිවුරක් සෝදවන්නෙහි ය. හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ (ශ්‍රද්ධාව නැති අයගේ) පැහැදීම පිණිස නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් නෑයෙකු නොවන භික්ෂුණියක ලවා පැරණි සිවුරක් සෝදවන්නේ නම් හෝ පඬු පොවවන්නේ නම් හෝ තළවන්නේ නම් හෝ නිස්සග්ගිය පාචිත්තිය (අත්හළ යුතු භාණ්ඩය ඇති පාචිත්තිය) ඇවැත් වේ.”
3. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
අඤ්ඤාතිකා නම්: මවු පැත්තෙන් හෝ පිය පැත්තෙන් හෝ සත්වන මුත්තා පරම්පරාව දක්වා නෑකමක් නැති තැනැත්තියයි.
භික්ඛුනී නම්: උභතෝ සංඝයා (භික්ෂුණී සංඝයා හා භික්ෂු සංඝයා) කෙරෙහි උපසම්පදාව ලත් තැනැත්තියයි.
පුරාණචීවර නම්: එක් වරක් හෝ හැඳ ගත්, එක් වරක් හෝ පොරවා ගත් සිවුරයි.
‘සෝදන්න’ යි අණ කරයි නම්, දුක්කට ඇවැත් වේ. සේදූ විට නිස්සග්ගිය වේ. ‘පඬු පොවන්න’ යි අණ කරයි නම්, දුක්කට ඇවැත් වේ. පඬු පෙවූ විට නිස්සග්ගිය වේ. ‘තළන්න’ යි අණ කරයි නම්, දුක්කට ඇවැත් වේ. එක් වරක් අතින් පහරක් හෝ මුගුරු පහරක් හෝ දුන් විට නිස්සග්ගිය වේ. එය සංඝයාට හෝ පිරිසට (ගණයට) හෝ පුද්ගලයෙකුට හෝ අත්හළ යුතුය.
4. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: “ස්වාමීනි, නෑයෙකු නොවන භික්ෂුණියක ලවා සෝදවන ලද මාගේ මේ පැරණි සිවුර නිස්සග්ගිය වූයේය. මම මෙය සංඝයාට අත්හරිමි”යි -පෙ- දෙන්නේය -පෙ- දෙන්නාහුය -පෙ- ආයුෂ්මතුන්ට දෙමි”යි. -පෙ-