5. 1. 3.
තුන්වන කඨින ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක්තරා භික්ෂුවකට අකාල සිවුරක් (අකාලචීවර) ලැබී තිබිණ. ඒ සිවුර කරන විට ඔහුට එය ප්‍රමාණවත් නොවෙයි. ඉක්බිති ඒ භික්ෂුව (රැලි හැරී සිවුර මහත් වේ යැයි සිතා) ඒ සිවුර ඇද ඔසවා නැවත නැවත මර්දනය කරයි. සෙනසුන් චාරිකාවෙහි වඩිමින් සිටි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව ඒ සිවුර ඇද ඔසවා නැවත නැවත මර්දනය කරනු දුටු සේක. දැක ඒ භික්ෂුව සිටි තැනට වැඩම කළ සේක. වැඩම කොට ඒ භික්ෂුවට මෙය වදාළ සේක: “මහණ, ඔබ කුමක් නිසා මේ සිවුර ඇද ඔසවා නැවත නැවත මර්දනය කරන්නෙහි ද?” “ස්වාමීනි, මට ලැබුණු මේ අකාල සිවුර කරන විට ප්‍රමාණවත් නොවෙයි. එහෙයින් මම මේ සිවුර ඇද ඔසවා නැවත නැවත මර්දනය කරමි.” “මහණ, ඔබට සිවුරු ලැබීමේ බලාපොරොත්තුවක් ඇද්ද?” “ඇත, භාග්‍යවතුන් වහන්ස.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අකාල සිවුරක් පිළිගෙන සිවුරු ලැබීමේ බලාපොරොත්තුවෙන් තබාගන්නට අනුමත කරමි.”
2. එසමයෙහි භික්ෂූහු ‘අකාල සිවුරක් පිළිගෙන සිවුරු ලැබීමේ බලාපොරොත්තුවෙන් තබාගන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ’ යි අකාල සිවුරු පිළිගෙන මසකට වඩා තබාගනිති. ඒ සිවුරු සිවුරු වැලෙහි මිටි බැඳ තිබෙයි. සෙනසුන් චාරිකාවෙහි වඩිමින් සිටි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඒ සිවුරු සිවුරු වැලෙහි මිටි බැඳ තිබෙනු දුටුහ. දැක භික්ෂූන් ඇමතූහ: “ඇවැත්නි, සිවුරු වැලෙහි මිටි බැඳ තිබෙන මේ සිවුරු කාගේ ද?” “ඇවැත්නි, මේ සිවුරු ලැබීමේ බලාපොරොත්තුවෙන් තබන ලද අපගේ අකාල සිවුරු ය.” “ඇවැත්නි, මේ සිවුරු කොපමණ කලක් තබන ලද්දේ ද?” “ඇවැත්නි, මසකට වඩා කලකි.” ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂූහු අකාල සිවුරු පිළිගෙන මසකට වඩා තබාගනිත් ද?” ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. -පෙ- “මහණෙනි, භික්ෂූහු අකාල සිවුරු පිළිගෙන මසකට වඩා තබාගනිති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ අකාල සිවුරු පිළිගෙන මසකට වඩා තබාගනිත් ද? මහණෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“භික්ෂුවගේ සිවුරු කිරීම නිම වූ කල්හි, කඨිනය උදුරා දැමූ කල්හි, භික්ෂුවකට අකාල සිවුරක් උපදී නම්, කැමති වන්නා වූ භික්ෂුව විසින් එය පිළිගත යුතුය. පිළිගෙන වහාම (සිවුර) කරවිය යුතුය. ඉදින් එය සම්පූර්ණ නොවේ නම්, අඩුව පිරවීම පිණිස (සිවුරු ලැබීමේ) බලාපොරොත්තුවක් ඇති කල්හි, ඒ භික්ෂුව විසින් ඒ සිවුර උපරිම වශයෙන් මසක් තබාගත යුතුය. බලාපොරොත්තුවක් ඇති කල්හි වුවද එයින් ඉක්මවා තබයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.”
3. සිවුරු කිරීම නිම වූ කල්හි යනු: භික්ෂුවගේ සිවුර කරන ලද්දේ හෝ වෙයි, නැති වූයේ හෝ විනාශ වූයේ හෝ දැවුණේ හෝ වෙයි, සිවුරු ලැබීමේ බලාපොරොත්තුව සිඳුණේ හෝ වෙයි.
කඨිනය උදුරා දැමූ කල්හි යනු: අට වැදෑරුම් මාතෘකාවන් (මාතිකා) අතුරෙන් එක්තරා මාතෘකාවකින් උදුරා දමන ලද්දේ වෙයි, නැතහොත් සංඝයා විසින් අතරතුර උදුරා දමන ලද්දේ වෙයි.
අකාල සිවුර නම්: කඨිනය නොඅතුළ කල්හි එකොළොස් මාසය තුළ උපන් සිවුරය, කඨිනය අතුළ කල්හි මාස හත තුළ උපන් සිවුරය, (සිවුරු) කාලයෙහි වුවද ‘මේ අකාල සිවුරකි’ යි උදෙසා දුන් සිවුරය. මෙය අකාල සිවුර නම් වේ.
උපදී නම් යනු: සංඝයා කෙරෙන් හෝ පිරිසක් (ගණ) කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ පංසුකූල වශයෙන් හෝ තමාගේ ධනයෙන් හෝ උපදී නම්.
කැමති වන්නා වූ යනු: කැමති වන්නා වූ භික්ෂුව විසින් පිළිගත යුතුය.
පිළිගෙන වහාම කරවිය යුතුය යනු: දින දහයක් ඇතුළත කරවිය යුතුය.
ඉදින් එය සම්පූර්ණ නොවේ නම් යනු: කරන විට (සිවුරකට) ප්‍රමාණවත් නොවෙයි.
ඒ භික්ෂුව විසින් ඒ සිවුර උපරිම වශයෙන් මසක් තබාගත යුතුය යනු: උපරිම වශයෙන් මසක් තබාගත යුතුය.
අඩුව පිරවීම පිණිස යනු: අඩු වූ දෙය සම්පූර්ණ කිරීම පිණිස.
බලාපොරොත්තුවක් ඇති කල්හි යනු: සංඝයා කෙරෙන් හෝ පිරිසක් කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ පංසුකූල වශයෙන් හෝ තමාගේ ධනයෙන් හෝ සිවුරු ලැබීමේ බලාපොරොත්තුවක් වෙයි.
ඉදින් ඉන් ඉක්මවා තබන්නේ නම්, බලාපොරොත්තුවක් ඇති කල්හි වුව ද යනු: එදවසම උපන් මූලචීවරය (මුල් සිවුර) ඇති කල්හි පච්චාසාචීවරය (බලාපොරොත්තු වූ සිවුර) උපදියි නම්, දස දවසක් ඇතුළත කරවිය යුතුය. දෙවන දවසේ උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදියි නම්, දස දවසක් ඇතුළත කරවිය යුතුය. තුන්වන දවසේ උපන් -පෙ- හතරවන දවසේ උපන් -පෙ- පස්වන දවසේ උපන් -පෙ- හයවන දවසේ උපන් -පෙ- හත්වන දවසේ උපන් -පෙ- අටවන දවසේ උපන් -පෙ- නවවන දවසේ උපන් -පෙ- දසවන දවසේ උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදියි නම්, දස දවසක් ඇතුළත කරවිය යුතුය. එකොළොස්වන දවසේ උපන් -පෙ- දොළොස්වන දවසේ උපන් -පෙ- දහතුන්වන දවසේ උපන් -පෙ- දහහතරවන දවසේ උපන් -පෙ- පහළොස්වන දවසේ උපන් -පෙ- දහසයවන දවසේ උපන් -පෙ- දහහත්වන දවසේ උපන් -පෙ- දහඅටවන දවසේ උපන් -පෙ- දහනවවන දවසේ උපන් -පෙ- විසිවන දවසේ උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදියි නම්, දස දවසක් ඇතුළත කරවිය යුතුය. විසිඑක්වන දවසේ උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදියි නම්, නව දවසක් ඇතුළත කරවිය යුතුය. විසිදෙවන දවසේ උපන් -පෙ- විසිතුන්වන දවසේ උපන් -පෙ- විසිහතරවන දවසේ උපන් -පෙ- විසිපස්වන දවසේ උපන් -පෙ- විසිහයවන දවසේ උපන් -පෙ- විසිහත්වන දවසේ උපන් -පෙ- විසිඅටවන දවසේ උපන් -පෙ- විසිනවවන දවසේ උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදියි නම්, එක් දවසක් ඇතුළත කරවිය යුතුය. තිස්වන දවසේ උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදියි නම්, එදවසම අධිෂ්ඨාන කළ යුතුය. විකප්ප කළ යුතුය. අනුන්ට දිය යුතුය.