3. 6.
කුටිකාර ශික්ෂාපදය
1. එසමයෙහි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආළවක භික්ෂූහු (ආළවි රටේ උපන් භික්ෂූහු) තමන් ම ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියෙකු (දායකයෙකු) නැති, තමන් උදෙසා වූ, පමණ ඉක්මවූ කුටි කරති, කරවති. ඒ කුටි නිම නොවෙයි. ඒ භික්ෂූහු “පුරුෂයෙකු දෙන්න, අත්තමක් (වැඩට උදව්වක්) දෙන්න, ගොනෙකු දෙන්න, ගැලක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැල් දෙන්න, උණ දෙන්න, මුදු තණ දෙන්න, බබුස් තණ දෙන්න, තණ දෙන්න, මැටි දෙන්න” යි ඉල්ලීම් බහුල ව, විනවීම් බහුල ව වාසය කරති. ඉල්ලීමෙන් පීඩිත වූ, විනවීමෙන් පීඩිත වූ මිනිස්සු භික්ෂූන් දැක කලබල ද වෙති, තැති ද ගනිති, පලා ද යති, වෙනත් මඟකින් ද යති, වෙනත් දිශාවකට මුහුණ ද හරවති, දොර ද වසති; දෙනකු දැක පවා ‘භික්ෂූහු’ යැයි සිතා පලා යති.
2. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ රජගහ නුවර වස් වැස ආළවි නුවර බලා වැඩම කළහ. පිළිවෙළින් ආළවි නුවරට වැඩම කළහ. එහි ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ ආළවි නුවර අග්ගාළව චෛත්‍යයෙහි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ආළවි නුවරට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ දැක කලබල ද වෙති, තැති ද ගනිති, පලා ද යති, වෙනත් මඟකින් ද යති, වෙනත් දිශාවකට මුහුණ ද හරවති, දොර ද වසති. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ ආළවි නුවර පිඬු පිණිස හැසිර, පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් ආපසු පැමිණ භික්ෂූන් අමතා වදාළහ:
“ඇවැත්නි, පෙර මේ ආළවි නුවර සුභික්ෂ විය (ආහාර බහුල විය), පිඬු පහසුවෙන් ලැබිණ, පිඬු සිඟීමෙන් යැපීම පහසු විය. දැන් වනාහි මේ ආළවි නුවර දුර්භික්ෂ ය, පිඬු ලැබීම දුෂ්කර ය, පිඬු සිඟීමෙන් යැපීම පහසු නොවේ. ඇවැත්නි, මේ ආළවි නුවර දුර්භික්ෂ වී, පිඬු ලැබීම දුෂ්කර වී, පිඬු සිඟීමෙන් යැපීම පහසු නොවීමට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද?” ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමති තාක් වැඩ වාසය කොට ආළවි නුවර බලා චාරිකාවේ වැඩම කළ සේක. පිළිවෙළින් චාරිකාවේ වඩිමින් ආළවි නුවරට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ ආළවි නුවර අග්ගාළව චෛත්‍යයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩ හුන් මහාකස්සප තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි භික්ෂු සංඝයා රැස් කරවා ආළවක භික්ෂූන්ගෙන් මෙසේ විචාළ සේක: “මහණෙනි, තෙපි තමන් ම ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියෙකු නැති, තමන් උදෙසා වූ, පමණ ඉක්මවූ කුටි කරවන්නහු ය යනු සැබෑ ද? ඒ කුටි නිම නොවෙයි ද? ඒ තෙපි ‘පුරුෂයෙකු දෙන්න, අත්තමක් (වැඩට උදව්වක්) දෙන්න, -පෙ- තණ දෙන්න, මැටි දෙන්න’ යි ඉල්ලීම් බහුල ව, විනවීම් බහුල ව වසන්නහු ද? ඉල්ලීමෙන් පීඩිත වූ, විනවීමෙන් පීඩිත වූ මිනිස්සු භික්ෂූන් දැක කලබල ද වෙති, තැති ද ගනිති, පලා ද යති, වෙනත් මඟකින් ද යති, වෙනත් දිශාවකට මුහුණ ද හරවති, දොර ද වසති, දෙනකු දැක පවා ‘භික්ෂූහු’ යැයි සිතා පලා යති ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.”
5. බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් තමන් ම ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියෙකු නැති, තමන් උදෙසා වූ, පමණ ඉක්මවූ කුටි කරවන්නහු ද? ඒ කුටි නිම නොවෙයි. ඒ තෙපි කෙසේ නම් ‘පුරුෂයෙකු දෙන්න, අත්තමක් (වැඩට උදව්වක්) දෙන්න, -පෙ- තණ දෙන්න, මැටි දෙන්න’ යි ඉල්ලීම් බහුල ව, විනවීම් බහුල ව වසන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ-” යි ගරහා, ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා වදාළ සේක: