සංඝාදිසේස කාණ්ඩය
3.
තේරසකය
ආයුෂ්මත්නි, මේ දහතුන් සංඝාදිසේස ඇවැත් උදෙසීමට පැමිණෙත්.
3. 1.
පළමු සංඝාදිසේසය (සුක්කවිස්සට්ඨි ශික්ෂාපදය)
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක භික්ෂුව කළකිරුණු සිතින් (කාමරාගයෙන් දැවෙමින්, විසිරුණු සිතින්) බඹසර හැසිරෙයි. ඔහු එයින් කෙට්ටු වූයේ, රළු වූයේ, පැහැය නැති වූයේ, ඉතා සුදුමැලි වූයේ, නහර ඉල්පී පෙනෙන සිරුරක් ඇත්තේ වෙයි.
2. ආයුෂ්මත් උදායී තෙරුන් කෙට්ටු වූ, රළු වූ, පැහැය නැති වූ, ඉතා සුදුමැලි වූ, නහර ඉල්පී පෙනෙන සිරුරක් ඇති ආයුෂ්මත් සෙය්‍යසක භික්ෂුව දුටුවාහුය. දැක ආයුෂ්මත් සෙය්‍යසකට මෙසේ කීහ: “ඇවැත් සෙය්‍යසක, ඔබ කුමක් හෙයින් කෙට්ටු වූයේ, රළු වූයේ, පැහැය නැති වූයේ, ඉතා සුදුමැලි වූයේ, නහර ඉල්පී පෙනෙන සිරුරක් ඇත්තේ වෙහි ද? ඇවැත් සෙය්‍යසක, කිම, ඔබ කළකිරුණු සිතින් බඹසර හැසිරෙන්නෙහි ද?” “එසේය, ඇවැත්නි.” “එසේ නම් ඇවැත් සෙය්‍යසක, ඔබ කැමති තාක් වළඳන්න, කැමති තාක් නිදාගන්න, කැමති තාක් ස්නානය කරන්න. කැමති තාක් වළඳා, කැමති තාක් නිදාගෙන, කැමති තාක් ස්නානය කොට, යම් කලෙක ඔබට කළකිරීමක් උපදී ද, රාගය සිත මඩී ද, එකල්හි අතින් උත්සාහ කොට අශුචිය (ශුක්‍රය) මුදාහරින්න.” “ඇවැත්නි, මෙබඳු දෙයක් කිරීම කැප ද?” “එසේය, ඇවැත්නි. මමත් මෙසේ කරමි.”
3. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක භික්ෂුව කැමති තාක් වැළඳුවේය, කැමති තාක් නිදාගත්තේය, කැමති තාක් ස්නානය කළේය. කැමති තාක් වළඳා, කැමති තාක් නිදාගෙන, කැමති තාක් ස්නානය කොට, යම් කලෙක කළකිරීම උපදී ද, රාගය සිත මඩී ද, එකල්හි අතින් උත්සාහ කොට අශුචිය (ශුක්‍රය) මුදාහරියි. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක පසු කාලයෙහි පැහැපත් වූයේ, පිනාගිය ඉඳුරන් ඇත්තේ, පැහැදුණු මුහුණු පැහැයක් ඇත්තේ, ඉතා පැහැදුණු සිවි පැහැයක් ඇත්තේ විය.
4. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසකගේ යහළු භික්ෂූහු ආයුෂ්මත් සෙය්‍යසකට මෙසේ කීහ: “ඇවැත් සෙය්‍යසක, ඔබ පෙර කෙට්ටු වූයේ, රළු වූයේ, පැහැය නැති වූයේ, ඉතා සුදුමැලි වූයේ, නහර ඉල්පී පෙනෙන සිරුරක් ඇත්තේ විය. ඒ ඔබ දැන් පැහැපත් වූයේ, පිනාගිය ඉඳුරන් ඇත්තේ, පැහැදුණු මුහුණු පැහැයක් ඇත්තේ, ඉතා පැහැදුණු සිවි පැහැයක් ඇත්තේ වෙහි. ඇවැත් සෙය්‍යසක, කිම, ඔබ බෙහෙතක් කරන්නෙහි ද?” “ඇවැත්නි, මම බෙහෙතක් නොකරමි. එහෙත් මම කැමති තාක් වළඳමි, කැමති තාක් නිදාගනිමි, කැමති තාක් ස්නානය කරමි. කැමති තාක් වළඳා, කැමති තාක් නිදාගෙන, කැමති තාක් ස්නානය කොට, යම් කලෙක මට කළකිරීමක් උපදී ද, රාගය සිත මඩී ද, එකල්හි අතින් උත්සාහ කොට අශුචිය මුදාහරිමි.” “කිම, ඇවැත් සෙය්‍යසක, ඔබ යම් අතකින් ම ශ්‍රද්ධාවෙන් දෙන දේ වළඳන්නෙහි ද, ඒ අතින් ම උත්සාහ කොට අශුචිය මුදාහරින්නෙහි ද?” “එසේය, ඇවැත්නි.” යම් ඒ භික්ෂූහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද, ඔවුහු “ආයුෂ්මත් සෙය්‍යසක කෙසේ නම් අතින් උත්සාහ කොට අශුචිය මුදාහරින්නේ දැ”යි හෙළා දකිති, දොස් කියති, නුගුණ පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් සෙය්‍යසකට නොයෙක් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි භික්ෂු සංඝයා රැස් කරවා ආයුෂ්මත් සෙය්‍යසකගෙන් මෙසේ විචාළ සේක: “සෙය්‍යසක, ඔබ අතින් උත්සාහ කොට අශුචිය මුදාහරින බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂය, එය නුසුදුසුය, නොගැළපෙයි, අප්‍රතිරූපය, ශ්‍රමණයෙකුට නොසුදුසුය, නොකැපය, නොකළ යුත්තකි. හිස් පුරුෂය, ඔබ කෙසේ නම් අතින් උත්සාහ කොට අශුචිය මුදාහරින්නෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලද්දේ රාගයෙන් මිදීම පිණිස මිස රාගය පිණිස නොවේ ද? කෙලෙස් බැඳීම්වලින් මිදීම පිණිස මිස බැඳීම පිණිස නොවේ ද? උපාදාන නැති වීම පිණිස මිස උපාදාන සහිත වීම පිණිස නොවේ ද? හිස් පුරුෂය, එහිලා මා විසින් රාගයෙන් මිදීම පිණිස ධර්මය දේශනා කළ කල්හි ඔබ රාගය පිණිස සිතන්නෙහිය (උත්සාහ කරන්නෙහිය). බැඳීම්වලින් මිදීම පිණිස ධර්මය දේශනා කළ කල්හි බැඳීම පිණිස සිතන්නෙහිය. උපාදාන නැති වීම පිණිස ධර්මය දේශනා කළ කල්හි උපාදාන සහිත වීම පිණිස සිතන්නෙහිය. හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් රාගය දුරු කිරීම පිණිස ධර්මය දේශනා කරන ලද්දේ නොවේ ද? මදය මැඩීම පිණිස, පිපාසය දුරු කිරීම පිණිස, ආලය මුලින් නසා දැමීම පිණිස, සසර වට සිඳීම පිණිස, තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, නිර්වාණය පිණිස ධර්මය දේශනා කරන ලද්දේ නොවේ ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් කාමයන් ප්‍රහාණය කිරීම කියන ලද්දේ නොවේ ද? කාම සංඥා පිරිසිඳ දැනීම කියන ලද්දේ නොවේ ද? කාම පිපාසා දුරු කිරීම කියන ලද්දේ නොවේ ද? කාම විතර්ක මුලින් නැසීම කියන ලද්දේ නොවේ ද? කාමය නිසා වන දැවිලි සංසිඳීම කියන ලද්දේ නොවේ ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුණුවන්ගේ පැහැදීම වැඩීම පිණිස හෝ නොවෙයි. හිස් පුරුෂය, මෙය වනාහි නොපැහැදුණුවන්ගේ නොපැහැදීම පිණිසත්, පැහැදුණු ඇතැමුන්ගේ සිත් වෙනස් වීම පිණිසත් ම වෙයි.”