3. 5.
සඤ්චරිත්ත ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ සැවැත් නුවර ගෙවල්වලට ඇසුරු කරන (කුලූපග) භික්ෂුවක් වූහ. උන්වහන්සේ බොහෝ ගෙවල් වෙත යති. යම් තැනක බිරියක් නැති කුමරකු හෝ සැමියකු නැති කුමරියක හෝ දකිත් ද, කුමරුගේ මව්පියන් ළඟ කුමරියගේ ගුණ කියති: “අසවල් පවුලේ කුමරිය රූමත්ය, දැකුම්කලුය, සිත පහදවන්නීය, නුවණැත්තීය, ව්‍යක්තය (උපාය දන්නීය), මේධාවීය, දක්ෂය, අලස නැත්තීය. ඒ කුමරිය මේ කුමරුට සුදුසුය.” ඔවුහු මෙසේ කියති: “ස්වාමීනි, ‘මොවුන් කවුරුන් ද? කාගේ අය ද?’ යි ඔවුහු අප නොදනිති. ස්වාමීනි, ආර්යයන් වහන්සේ (ඇය) දෙවන්නේ නම් අපි ඒ කුමරිය මේ කුමරුට ගෙන එන්නෙමු.” කුමරියගේ මව්පියන් ළඟ කුමරුගේ ගුණ කියති: “අසවල් පවුලේ කුමරා රූමත්ය, දැකුම්කලුය, සිත පහදවන්නේය, නුවණැත්තේය, ව්‍යක්තය, මේධාවීය, දක්ෂය, අලස නැත්තේය. මේ කුමරිය ඒ කුමරුට සුදුසුය.” ඔවුහු මෙසේ කියති: “ස්වාමීනි, ‘මොවුන් කවුරුන් ද? කාගේ අය ද?’ යි ඔවුහු අප නොදනිති. කුමරිය ගැන (ඇය ගන්නැයි) කියන්නට අපට ලජ්ජාවක් මෙන් වෙයි. ස්වාමීනි, ආර්යයන් වහන්සේ (ඔවුන් ලවා) ඉල්ලවන්නේ නම් අපි මේ කුමරිය ඒ කුමරුට දෙන්නෙමු.” මේ උපායෙන්ම උන්වහන්සේ ආවාහ ද (අන් පවුලකින් කුමරියක ගෙන ඒම් ද) කරවති. විවාහ ද (තම දුව අන් පවුලකට පාවා දීම් ද) කරවති. ගිවිස්වීම් ද (විවාහ ඉල්ලීම් හෝ දින නැකැත් නියම කිරීම් ද) කරවති.
2. එසමයෙහි එක්තරා පුරාණ ගණකියකගේ (මියගිය ගණකයකුගේ බිරියකගේ) දුවක් රූමත් වූවාය, දැකුම්කලු වූවාය, සිත පහදවන්නී වූවාය. අන් ගමක ආජීවක ශ්‍රාවකයෝ පැමිණ ඒ ගණකියට මෙසේ කීහ: “ආර්යාවෙනි, මේ කුමරිය අපගේ කුමරුට දෙනු මැනවි.” ඕ මෙසේ කීවාය: “ආර්යයෙනි, ‘මොවුන් කවුරුන් ද? කාගේ අය ද?’ යි මම ඔබ නොදනිමි. මේ මගේ එකම දුවය. අන් ගමකට ද යා යුතුය. මම නොදෙන්නෙමි.” මිනිස්සු ඒ ආජීවක ශ්‍රාවකයන්ට මෙසේ කීහ: “ආර්යයෙනි, ඔබ කුමකට ආවහු ද?” “ආර්යයෙනි, අපි මෙහි අසවල් නම් ගණකියගෙන් අපගේ කුමරුට ඇගේ දුව ඉල්ලුවෙමු. ඕ මෙසේ කීවාය: ‘ආර්යයෙනි, “මොවුන් කවුරුන් ද? කාගේ අය ද?” යි මම ඔබ නොදනිමි. මේ මගේ එකම දුවය. අන් ගමකට ද යා යුතුය. මම නොදෙන්නෙමි’ යි.” “ආර්යයෙනි, ඔබ කුමට ඒ ගණකියගෙන් දුව ඉල්ලුවහු ද? ආර්ය උදායීයන්ට කිව යුතු නොවේ ද? ආර්ය උදායීයන් (ඇය) දෙවන්නේය.” ඉක්බිති ඒ ආජීවක ශ්‍රාවකයෝ ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙසේ කීහ: “ස්වාමීනි, අපි මෙහි අසවල් නම් ගණකියගෙන් අපගේ කුමරුට ඇගේ දුව ඉල්ලුවෙමු. ඕ මෙසේ කීවාය: ‘ආර්යයෙනි, “මොවුන් කවුරුන් ද? කාගේ අය ද?” යි මම ඔබ නොදනිමි. මේ මගේ එකම දුවය. අන් ගමකට ද යා යුතුය. මම නොදෙන්නෙමි’ යි. ස්වාමීනි, ආර්යයන් වහන්සේ ඒ ගණකියගේ දුව අපගේ කුමරුට දෙවන්නේ නම් මැනවි.”
3. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ ගණකිය වෙත එළඹියහ. එළඹ ඒ ගණකියට මෙසේ කීහ: “කුමක් නිසා මොවුන්ට දුව නොදෙන්නෙහි ද?” “ආර්යයන් වහන්ස, ‘මොවුන් කවුරුන් ද? කාගේ අය ද?’ යි මම මොවුන් නොදනිමි. මේ මගේ එකම දුවය. අන් ගමකට ද යා යුතුය. මම නොදෙන්නෙමි.” “මොවුන්ට දෙන්න. මම මොවුන් දනිමි.” “ස්වාමීනි, ආර්යයන් වහන්සේ දන්නේ නම් දෙන්නෙමි.” ඉක්බිති ඒ ගණකිය ඒ ආජීවක ශ්‍රාවකයන්ට දුව දුන්නාය. ඉක්බිති ඒ ආජීවක ශ්‍රාවකයෝ ඒ කුමරිය කැඳවාගෙන ගොස් මසක් පමණක් ලේලියකට සලකන පරිදි සැලකූහ. ඉන්පසු දාසියකට සලකන පරිදි සලකති. ඉක්බිති ඒ කුමරිය “මම වනාහි දුගී වූයෙමි, දුකට පත් වූයෙමි, සැපයක් නොලබමි. මසක් පමණක් මට ලේලියකට මෙන් සැලකූහ. ඉන්පසු දාසියකට මෙන් සලකති. මගේ මව පැමිණේවා. මා කැඳවාගෙන යේවා” යි මව වෙත දූතයකු යැවූවාය.
4. ඉක්බිති ඒ ගණකිය ඒ ආජීවක ශ්‍රාවකයන් වෙත එළඹියාය. එළඹ ඒ ආජීවක ශ්‍රාවකයන්ට මෙසේ කීවාය: “ආර්යයෙනි, මේ කුමරියට දාසියකට මෙන් නොසලකනු මැනවි. මේ කුමරියට ලේලියකට මෙන් සලකනු මැනවි.” ඔවුහු මෙසේ කීහ: “ඔබ සමග අපට ගැනීමක් දීමක් (ගනුදෙනුවක්) නැත. අපගේ ගනුදෙනුව ශ්‍රමණයා සමගය. ඔබ යන්න. අපි ඔබ නොදනිමු.” ඉක්බිති ඒ ගණකිය ඒ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහා පිටත් කරන ලදුව නැවතත් සැවැත් නුවරට පෙරළා පැමිණියාය. දෙවන වරටත් ඒ කුමරිය “මම වනාහි දුගී වූයෙමි, දුකට පත් වූයෙමි, සැපයක් නොලබමි. මසක් පමණක් මට ලේලියකට මෙන් සැලකූහ. ඉන්පසු දාසියකට මෙන් සලකති. මගේ මව පැමිණේවා. මා කැඳවාගෙන යේවා” යි මව වෙත දූතයකු යැවූවාය.
5. ඉක්බිති ඒ ගණකිය ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ වෙත එළඹියාය. එළඹ ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙසේ කීවාය: “ස්වාමීනි, ඒ කුමරිය දුගී වූවාලු, දුකට පත් වූවාලු, සැපයක් නොලබයිලු. මසක් පමණක් ඇයට ලේලියකට මෙන් සැලකූහලු. ඉන්පසු දාසියකට මෙන් සලකතිලු. ස්වාමීනි, ‘ආර්යයෙනි, මේ කුමරියට දාසියකට මෙන් නොසලකනු මැනවි. මේ කුමරියට ලේලියකට මෙන් සලකනු මැනවි’ යි කියනු මැනවි.” ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ ආජීවක ශ්‍රාවකයන් වෙත එළඹියහ. එළඹ ඒ ආජීවක ශ්‍රාවකයන්ට මෙසේ කීහ: “ආර්යයෙනි, මේ කුමරියට දාසියකට මෙන් නොසලකනු මැනවි. මේ කුමරියට ලේලියකට මෙන් සලකනු මැනවි.” ඔවුහු මෙසේ කීහ: “ඔබ සමග අපට ගැනීමක් දීමක් (ගනුදෙනුවක්) නැත. අපගේ ගනුදෙනුව ගණකිය සමගය. ශ්‍රමණයා (මෙබඳු කටයුතුවල) නොයෙදුණු කෙනෙකු විය යුතුය. (එසේ වන්නා වූ) ශ්‍රමණයා යහපත් ශ්‍රමණයෙක් වන්නේය. ඔබ යන්න. අපි ඔබ නොදනිමු.” ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහා පිටත් කරන ලදුව නැවතත් සැවැත් නුවරට පෙරළා වැඩියහ. තුන්වන වරටත් ඒ කුමරිය “මම වනාහි දුගී වූයෙමි, දුකට පත් වූයෙමි, සැපයක් නොලබමි. මසක් පමණක් මට ලේලියකට මෙන් සැලකූහ. ඉන්පසු දාසියකට මෙන් සලකති. මගේ මව පැමිණේවා. මා කැඳවාගෙන යේවා” යි මව වෙත දූතයකු යැවූවාය.
6. දෙවන වරටත් ඒ ගණකිය ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ වෙත එළඹියාය. එළඹ ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙසේ කීවාය: “ස්වාමීනි, ඒ කුමරිය දුගී වූවාලු, දුකට පත් වූවාලු, සැපයක් නොලබයිලු. මසක් පමණක් ඇයට ලේලියකට මෙන් සැලකූහලු. ඉන්පසු දාසියකට මෙන් සලකතිලු. ස්වාමීනි, ‘ආර්යයෙනි, මේ කුමරියට දාසියකට මෙන් නොසලකනු මැනවි. මේ කුමරියට ලේලියකට මෙන් සලකනු මැනවි’ යි කියනු මැනවි.” “පළමු වර මම ඒ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහා පිටත් කරන ලද්දෙමි. ඔබ යන්න. මම නොයන්නෙමි.”