3. 4.
අත්තකාමපාරිචරිය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ සැවැත් නුවර දායක පවුල් කරා නිතර යන කෙනෙක් (කුලූපග) වූහ. උන්වහන්සේ බොහෝ පවුල් කරා එළඹෙති. එසමයෙහි සැමියා මළ, මනා රූ ඇති, දැකුම්කලු, පැහැදීම ඇති කරවන එක්තරා ස්ත්‍රියක් වූවාය. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙන ඒ ස්ත්‍රියගේ නිවස කරා එළඹියහ. එළඹ පනවන ලද ආසනයෙහි වැඩ හුන්හ.
2. ඉක්බිති ඒ ස්ත්‍රිය ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ වෙත එළඹියාය. එළඹ ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාය. එකත්පසෙක හුන් ඒ ස්ත්‍රියට ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ධර්ම කතාවෙන් කරුණු මනාව පෙන්වා දුන්හ, කුසලයෙහි සමාදන් කෙරෙව්හ, උත්සාහවත් කෙරෙව්හ, සතුටු කෙරෙව්හ.
3. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් කරුණු පෙන්වා දෙන ලද, සමාදන් කරවන ලද, උත්සාහවත් කරවන ලද, සතුටු කරවන ලද ඒ ස්ත්‍රිය ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේට මෙසේ කීවාය: “ස්වාමීනි, ඔබ වහන්සේට යමක් වුවමනා නම් එය කියනු මැනව. සිවුරු, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර යන මේවා ආර්යයන් වහන්සේට දීමට අපි සමත් වෙමු.” “නැගණිය, සිවුරු, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර යන මේවා අපට දුර්ලභ නොවේ. එහෙත් අපට යමක් දුර්ලභ නම් එය දෙන්න.” “ස්වාමීනි, එය කුමක් ද?” “මෛථුන ධර්මය (ලිංගික සංසර්ගය) ය.” “ස්වාමීනි, එය වුවමනා ද?” “නැගණිය, වුවමනා ය.” “ස්වාමීනි, එනු මැනව” යැයි ඇතුළු කාමරයට පිවිස සළුව ඉවත් කොට ඇඳෙහි උඩුබැලි අතට වැතිරුණාය. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ ස්ත්‍රිය වෙත එළඹියහ. එළඹ “කවරෙක් නම් අසූචි වැගිරෙන (නොහොත් හීන වූ), දුගඳ හමන මැය අල්ලන්නේ ද?” යැයි කෙළ ගසා පිටත්ව ගියහ.
4. ඉක්බිති ඒ ස්ත්‍රිය හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ ලැජ්ජා නැත්තෝ ය, දුශ්ශීලයෝ ය, බොරු කියන්නෝ ය. මොවුහු වනාහි තමන් ධර්මයෙහි හැසිරෙන්නෝ ය, සමව හැසිරෙන්නෝ ය, බ්‍රහ්මචාරීහු ය, සත්‍යවාදීහු ය, සිල්වත්හු ය, කල්‍යාණ ධර්ම ඇත්තෝ ය යැයි ප්‍රතිඥා දෙති. මොවුන්ට ශ්‍රමණකමක් නැත. මොවුන්ට බ්‍රාහ්මණකමක් නැත. මොවුන්ගේ ශ්‍රමණකම නැසී ගියේ ය. මොවුන්ගේ බ්‍රාහ්මණකම නැසී ගියේ ය. මොවුන්ට ශ්‍රමණකමක් කොයින් ද? මොවුන්ට බ්‍රාහ්මණකමක් කොයින් ද? මොවුහු ශ්‍රමණකමින් පහ වූවෝ ය. මොවුහු බ්‍රාහ්මණකමින් පහ වූවෝ ය. කෙසේ නම් උදායී ශ්‍රමණයා තමා ම මගෙන් මෛථුන ධර්මය ඉල්ලා ‘කවරෙක් නම් අසූචි වැගිරෙන, දුගඳ හමන මැය අල්ලන්නේ ද?’ යැයි කෙළ ගසා පිටත්ව යන්නේ ද? මගේ කුමක් නම් නරක ද? මගේ කුමක් දුගඳ ද? මම කවර ස්ත්‍රියකට වඩා කුමකින් (ධනයෙන් හෝ අලංකාරයෙන් හෝ රූපයෙන් හෝ) පිරිහී සිටිම් ද?”
5. අනෙක් ස්ත්‍රීහු ද හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ ලැජ්ජා නැත්තෝ ය -පෙ- කෙසේ නම් උදායී ශ්‍රමණයා තමා ම මැයගෙන් මෛථුන ධර්මය ඉල්ලා ‘කවරෙක් නම් අසූචි වැගිරෙන, දුගඳ හමන මැය අල්ලන්නේ ද?’ යැයි කෙළ ගසා පිටත්ව යන්නේ ද? මැගේ කුමක් නම් නරක ද? මැගේ කුමක් දුගඳ ද? මෑ කවර ස්ත්‍රියකට වඩා කුමකින් පිරිහී සිටී ද?”
6. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ ස්ත්‍රීන්ගේ කථාව භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වූවාහු ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙරුන් ස්ත්‍රියක් සමීපයෙහි තමා උදෙසා මෛථුනයෙන් කරන සේවයේ (අත්තකාමපාරිචරියාවේ) ගුණ කියන්නේ ද?”
7. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි භික්ෂු සංඝයා රැස් කරවා ආයුෂ්මත් උදායී තෙරුන්ගෙන් මෙසේ විචාළ සේක: “උදායී, ඔබ ස්ත්‍රියක් සමීපයෙහි තමා උදෙසා මෛථුනයෙන් කරන සේවයේ ගුණ කීවා යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂය, එය නුසුදුසු ය, අනුලෝම නොවේ, නොගැළපේ, ශ්‍රමණයෙකුට නුසුදුසු ය, අකැප ය, නොකළ යුත්තකි. හිස් පුරුෂය, කෙසේ නම් ඔබ ස්ත්‍රියක් සමීපයෙහි තමා උදෙසා මෛථුනයෙන් කරන සේවයේ ගුණ කියන්නෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලද්දේ රාගය පිණිස නොව විරාගය (නොඇල්ම) පිණිස නොවේ ද? -පෙ- කාම දාහයන්ගේ සංසිඳීම වදාරන ලද්දේ නොවේ ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් රාගයෙන් යටපත් වූයේ, පෙරළුණු සිතින් ස්ත්‍රියක් සමීපයෙහි ‘නැගණිය, යම් ස්ත්‍රියක් මා වැනි සිල්වත් වූ, කල්‍යාණ ධර්ම ඇති, බ්‍රහ්මචාරී කෙනෙකුට මේ ධර්මයෙන් (මෛථුනයෙන්) සේවය කරන්නී නම්, එය සේවයන් අතුරෙන් අග්‍රය’ යැයි මෛථුනය හා බැඳුණු වචනයෙන් තමා උදෙසා මෛථුනයෙන් කරන සේවයේ (අත්තකාමපාරිචරියාවේ) ගුණ කියන්නේ නම්, ඔහුට සංඝාදිසේස ඇවැත් වේ.”
8. යො පන යනු යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ෂුව යනු -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහු ය.
ඔතිණ්ණ (රාගයෙන් යටපත් වූ) නම්: ඇලුණු, බලාපොරොත්තු සහිත, බැඳුණු සිත් ඇත්තා ය.
විපරිණත (පෙරළුණු) යනු: රාගයෙන් ඇලුණු සිත ද විපරිණත ය. ද්වේෂයෙන් දූෂිත වූ සිත ද විපරිණත ය. මෝහයෙන් මුළා වූ සිත ද විපරිණත ය. එහෙත් මේ අර්ථයෙහි ‘විපරිණත’ යැයි අදහස් කරන ලද්දේ රාගයෙන් ඇලුණු සිත ය.
මාතුගාම (ස්ත්‍රිය) නම්: මිනිස් ස්ත්‍රියකි. යක්ෂණියක් නොවේ, ප්‍රේතියක් නොවේ, තිරිසන් ගත සත්ත්වයෙක් නොවේ. හොඳින් කියූ දේ හා නරකින් කියූ දේ ද, අසභ්‍ය (දුට්ඨුල්ල) දේ හා අසභ්‍ය නොවන දේ ද දැන ගැනීමට සමත් නුවණැති ස්ත්‍රියකි.
ස්ත්‍රියක් සමීපයෙහි යනු ස්ත්‍රිය අසල, ස්ත්‍රියට නුදුරු තැන ය.
අත්තකාම යනු තමාගේ කැමැත්ත, තමාගේ හේතුව, තමාගේ අදහස, තමාට කරන සේවය ය.
එතදග්ගං යනු මෙය අග්‍ර ය, මෙය ශ්‍රේෂ්ඨ ය, මෙය ප්‍රමුඛ ය, මෙය උත්තම ය, මෙය ප්‍රවර ය.
යා (යම් ස්ත්‍රියක්) යනු ක්ෂත්‍රිය ස්ත්‍රියක් හෝ බ්‍රාහ්මණ ස්ත්‍රියක් හෝ වෛශ්‍ය ස්ත්‍රියක් හෝ ශුද්‍ර ස්ත්‍රියක් හෝ ය.
මාදිසං (මා වැන්නෙකු) යනු ක්ෂත්‍රියයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෛශ්‍යයෙකු හෝ ශුද්‍රයෙකු හෝ ය.