3. 2.
කායසංසර්ග ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ (ජේතවන විහාරයේ කෙළවර එක් පසෙක වූ) අරණ්‍යයෙහි වාසය කරති. ඒ ආයුෂ්මතුන්ගේ විහාරය මනහරය, දැකුම්කලුය, පැහැදීම ඇති කරන්නකි. එහි මැද ගර්භයක් (ඇතුළු කාමරයක්) විය; හාත්පස එය වට කළ මණ්ඩලමාලයක් (ශාලාවක්) විය. ඇඳ පුටු ද, බිසි (මෙට්ට) කොට්ට ද මනාකොට පණවා තිබිණි. පානය කළ යුතු ජලය ද පරිභෝජනය කළ යුතු ජලය ද මනාව එළවා තිබිණි. මිදුල මනාව හමදින ලදි. බොහෝ මිනිස්සු ආයුෂ්මත් උදායී තෙරුන්ගේ විහාරය බලනු කැමතිව පැමිණෙති.
2. බිරිඳ සහිත එක්තරා බ්‍රාහ්මණයෙක් ද ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ වෙත පැමිණියේය; පැමිණ ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙසේ කීය: “අපි භවත් උදායීන්ගේ විහාරය බලන්නට කැමැත්තෙමු.” “එසේ නම් බ්‍රාහ්මණය, බලන්න” යි (කියා) උන්වහන්සේ යතුර ගෙන අගුල හැර දොර පලු ඇර විහාරයට ඇතුළු වූහ. ඒ බ්‍රාහ්මණයා ද ආයුෂ්මත් උදායී තෙරුන්ගේ පිටුපසින් ඇතුළු විය. ඒ බැමිණිය ද ඒ බ්‍රාහ්මණයාගේ පිටුපසින් ඇතුළු වූවාය. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් ඇතැම් කවුළු විවෘත කරමින්, ඇතැම් කවුළු වසමින් ගර්භය වටා ගොස් පිටුපසින් පැමිණ ඒ බැමිණියගේ අඟපසඟ පිරිමැද්දහ. ඉක්බිති ඒ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදායී තෙරුන් සමග සතුටු සාමීචි කතා කොට ගියේය.
3. ඉක්බිති ඒ බ්‍රාහ්මණයා සතුටු සිත් ඇත්තේ සතුට පළ කරන වචන කීවේය: “යම් මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මෙබඳු අරණ්‍යයක වාසය කරත් ද, ඔවුහු උදාර වෙති. යමෙක් මෙබඳු අරණ්‍යයක වාසය කරයි ද, ඒ භවත් උදායී ද උදාර කෙනෙකි.” මෙසේ කී කල්හි ඒ බැමිණිය ඒ බ්‍රාහ්මණයාට මෙසේ කීවාය: “ඔහුට උදාර බවක් කොයින් ද? ඔබ මගේ අඟපසඟ පිරිමදින්නාක් මෙන්ම උදායී ශ්‍රමණයා ද මගේ අඟපසඟ පිරිමැද්දේය.”
4. ඉක්බිති ඒ බ්‍රාහ්මණයා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ලජ්ජා නැත්තෝය, දුශ්ශීලයෝය, බොරු කියන්නෝය. මොවුහු නම් තමන් ධර්මචාරීන් ය, සමචාරීන් ය, බ්‍රහ්මචාරීන් ය, සත්‍යවාදීන් ය, සිල්වතුන් ය, කල්‍යාණ ධර්ම ඇත්තෝ ය යි ප්‍රතිඥා දෙති. මොවුන්ට ශ්‍රමණ භාවයක් නැත. මොවුන්ට බ්‍රාහ්මණ භාවයක් නැත. මොවුන්ගේ ශ්‍රමණ භාවය නැසී ගියේය. මොවුන්ගේ බ්‍රාහ්මණ භාවය නැසී ගියේය. මොවුන්ට ශ්‍රමණ භාවයක් කොයින් ද? මොවුන්ට බ්‍රාහ්මණ භාවයක් කොයින් ද? මොවුහු ශ්‍රමණ භාවයෙන් පහ වූවෝය. මොවුහු බ්‍රාහ්මණ භාවයෙන් පහ වූවෝය. කෙසේ නම් උදායී ශ්‍රමණයා මගේ භාර්යාවගේ අඟපසඟ පිරිමදින්නේ ද? කුලස්ත්‍රීන්ට (ගෘහ හිමිකාරියන්ට), කුල දියණියන්ට (විවාහ වූ), කුල කුමරියන්ට (විවාහ නොවූ), කුල ලේලියන්ට, කුල දාසියන්ට ආරාමයකට හෝ විහාරයකට යන්නට නොහැකිය. ඉදින් කුලස්ත්‍රීහු, කුල දියණියෝ, කුල කුමරියෝ, කුල ලේලියෝ, කුල දාසියෝ ආරාමයකට හෝ විහාරයකට යන්නාහු නම්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ඔවුන් ද දූෂණය කරන්නාහුය.”
5. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ බ්‍රාහ්මණයාගේ වචන භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා -පෙ- ඔවුහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙරුන් ස්ත්‍රියක් සමග කාය සංසර්ගයට (කයින් කය ගැටීමට) පැමිණෙත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
6. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි භික්ෂු සංඝයා රැස් කරවා ආයුෂ්මත් උදායී තෙරුන්ගෙන් “උදායී, ඔබ ස්ත්‍රියක් සමග කාය සංසර්ගයට පැමිණියේ යැයි කියන්නේ සැබෑ ද?” යි විචාළ සේක. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂය, (මෙය) නුසුදුසුය, අනුලෝම නොවේ, නොගැළපේ, ශ්‍රමණයන්ට නුසුදුසුය, අකැපය, නොකළ යුත්තකි. හිස් පුරුෂය, ඔබ කෙසේ නම් ස්ත්‍රියක් සමග කාය සංසර්ගයට පැමිණෙන්නෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේ ඇල්ම පිණිස නොව විරාගය (නොඇල්ම) පිණිස නොවේ ද? -පෙ- කාම දාහයන් සංසිඳවීම වදාරන ලද්දේ නොවේ ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් රාගයෙන් යටපත් වූයේ, පෙරළුණු සිතින් ස්ත්‍රියක් සමග කාය සංසර්ගයට පැමිණෙන්නේ නම්, එනම් අත ගැනීම හෝ කෙස් වැටිය (වේණිය) ගැනීම හෝ යම්කිසි අවයවයක් පිරිමැදීම හෝ කරයි නම්, සංඝාදිසේස ඇවැත් වේ.”
7. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
ඔතිණ්ණ නම්: (කාය සංසර්ග රාගයෙන්) දැඩිව ඇලුණේ, බලාපොරොත්තු ඇත්තේ, (ඒ ස්ත්‍රිය කෙරෙහි) බැඳුණු සිත් ඇත්තේය.