3. 13.
කුලදූසක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි අස්සජි සහ පුනබ්බසුක යන නම් ඇති, ලජ්ජා නැති පාපී භික්ෂූහු කීටාගිරි නම් ජනපදයෙහි ආවාසික (විහාරය භාරව එහි වසන) භික්ෂූහු වූහ. ඔවුහු මෙබඳු අනාචාර (නොකළ යුතු දේ) කරති: මල් පැළ තුමූ ද හිටවති, අනුන් ලවා ද හිටවති. දිය ඉසිති, දිය ඉස්වති. මල් නෙළති, නෙළවති. මල් ගොතති, ගොතවති. එක් පසෙක නටු ඇති මල්මාලා කරති, කරවති. දෙපසෙහි නටු ඇති මල්මාලා කරති, කරවති. මල් පොකුරු (මඤ්ජරික) කරති, කරවති. ඉඳිකටුවෙන් හෝ ඉරටුවෙන් හෝ විද කළ මල්දම් (විධූතික) කරති, කරවති. හිස පළඳින මල් වළලු (වටංසක) කරති, කරවති. කනෙහි පළඳින මල් කැරලි (ආවෙළ) කරති, කරවති. ළයෙහි පළඳින මල්හර (උරච්ඡද) කරති, කරවති. ඔවුහු කුල ස්ත්රීන්ට, කුල දියණියන්ට, කුල කුමරියන්ට, කුල ලේලියන්ට, කුල දාසියන්ට එක් පසෙක නටු ඇති මල්මාලා ගෙන යති, ගෙන යවති. දෙපසෙහි නටු ඇති මල්මාලා ගෙන යති, ගෙන යවති. මල් පොකුරු ගෙන යති, ගෙන යවති. විද කළ මල්දම් ගෙන යති, ගෙන යවති. මල් වළලු ගෙන යති, ගෙන යවති. මල් කැරලි ගෙන යති, ගෙන යවති. මල්හර ගෙන යති, ගෙන යවති. ඔවුහු කුල ස්ත්‍රීන්, කුල දියණියන්, කුල කුමරියන්, කුල ලේලියන්, කුල දාසියන් සමඟ එක් බඳුනෙහි ද අනුභව කරති.
එක් භාජනයෙහි ද පානය කරති. එක් අසුනෙහි ද හිඳිති. එක් ඇඳෙහි ද නිදති. එක් ඇතිරිල්ලක් ඇතිව ද නිදති. එක් පොරෝණයක් ඇතිව ද නිදති. එක් ඇතිරිල්ලක් හා පොරෝණයක් ඇතිව ද නිදති. නොකල්හි (විකාලයෙහි) ද අනුභව කරති. මත්පැන් ද බොති. මල් සුවඳ විලවුන් ද දරති. නටති, ගයති, වාදනය කරති, ලාස්‍ය නැටුම් (ප්‍රීතියෙන් උඩ පනිමින් කරන නැටුම්) නටති. (නිළිය) නටන කල්හි ද නටති. නටන කල්හි ද වාදනය කරති. නටන කල්හි ද ලාස්‍ය නටති. ගයන කල්හි ද නටති. ගයන කල්හි ද ගයති. ගයන කල්හි ද වාදනය කරති. ගයන කල්හි ද ලාස්‍ය නටති. වාදනය කරන කල්හි ද නටති. වාදනය කරන කල්හි ද ගයති. වාදනය කරන කල්හි ද වාදනය කරති. වාදනය කරන කල්හි ද ලාස්‍ය නටති. ලාස්‍ය නටන කල්හි ද නටති. ලාස්‍ය නටන කල්හි ද ගයති. ලාස්‍ය නටන කල්හි ද වාදනය කරති. ලාස්‍ය නටන කල්හි ද ලාස්‍ය නටති. අටකොටු දූපෝරුවෙහි ද කෙළිති. දසකොටු දූපෝරුවෙහි ද කෙළිති. දූපෝරුවෙහි මෙන් අහසෙහි ද (පුවරුවක් නැතිව) කෙළිති. බිම ඇඳි මංමඬුල්ලෙහි ද කෙළිති. එක්තැන තැබූ කැට නොසොලවා නියෙන් ඈත් මෑත් කරමින් ද කෙළිති. දූපෝරුවෙහි දාදු කැටවලින් ද කෙළිති. දිග දඬුවෙන් කෙටි දඬුවට පහර දෙන (ගුඩු) කෙළියෙන් ද කෙළිති. ලාකඩ ආදියෙහි තෙමූ ඉරටු මිටියකින් (බිම හෝ බිත්තියෙහි ගසා රූප දක්වමින්) ද කෙළිති. පන්දුවෙන් ද කෙළිති. පත් නළාවෙන් ද කෙළිති. කුඩා නඟුලෙන් ද කෙළිති. කරණම් ගැසීමෙන් (උඩු යටිකුරු වී පෙරළීමෙන්) ද කෙළිති. තල්පත් ආදියෙන් කළ හුළං පෙත්තෙන් (කන්නන්ගුරුවාවෙන්) ද කෙළිති. පත් නැළියෙන් (වැලි ආදිය මනිමින්) ද කෙළිති. කුඩා රියෙන් ද කෙළිති. කුඩා දුන්නෙන් ද කෙළිති. අහසෙහි හෝ පිටෙහි ලියූ අකුරු හඳුනාගැනීමේ කෙළියෙන් ද කෙළිති. සිතින් සිතූ දෙය දැනගැනීමේ කෙළියෙන් ද කෙළිති. කණ, කොර ආදීන්ගේ දොස් අනුකරණය කර දක්වන කෙළියෙන් ද කෙළිති. ඇත් ශිල්පයෙහි ද හික්මෙති. අශ්ව ශිල්පයෙහි ද හික්මෙති. රථ ශිල්පයෙහි ද හික්මෙති. දුනු ශිල්පයෙහි ද හික්මෙති. කඩු ශිල්පයෙහි ද හික්මෙති. ඇතුන් ඉදිරියෙන් ද දුවති. අසුන් ඉදිරියෙන් ද දුවති. රථ ඉදිරියෙන් ද දුවති. ඉවතට ද දුවති, නැවත ඉදිරියට ද දුවති. ප්‍රීති නාද ද කරති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කරති. මිටින් ද පොර කරති. රඟමඬල මැද සඟළසිවුර අතුරා නටන ස්ත්‍රියට ‘නැගණිය, මෙහි නටව’යි මෙසේ කියති. (‘මැනවි, මැනවි, නැගණිය’යි කියා) නළලෙහි ද ඇඟිල්ල තබති. තවත් විවිධ අනාචාර ද කරති.
2. එසමයෙහි එක්තරා භික්ෂුවක් කසී ජනපදයෙහි වස් විසූ පසු භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට යන්නේ, කීටාගිරිය යම් තැනක ද එතැනට වැඩම කළේය. ඉක්බිති ඒ භික්ෂුව පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාත්‍රය හා සිවුර ගෙන, පැහැදීම ඇති කරවන යෑමෙන්, ආපසු හැරීමෙන්, ඉදිරිය බැලීමෙන්, අවට බැලීමෙන්, අත්පා හැකිළීමෙන්, දිගහැරීමෙන් යුක්තව, යට හෙළූ ඇස් ඇතිව, මනා ඉරියව් ඇතිව කීටාගිරියට පිඬු පිණිස පිවිසියේය. මිනිස්සු ඒ භික්ෂුව දැක මෙසේ කීහ: “ඉතා මෝඩයකු වැනි, ඉතා මන්දගාමියකු වැනි, ඉතා බැම හකුළුවාගත්තකු වැනි මේ කවරෙක් ද? පැමිණි මොහුට කවරෙක් නම් පිඬක් වත් දෙන්නේ ද? අපගේ ආර්ය අස්සජි පුනබ්බසුකයන් වහන්සේලා වනාහි මෘදු වූවෝය, මිහිරි වචන ඇත්තෝය, සුව එළවන කතා ඇත්තෝය, සිනහව පෙරටු කොට කතා කරන්නෝය, ‘එන්න, සාදරයෙන් පිළිගනිමු’යි කියන්නෝය, බැම නොහකුළුවන්නෝය, පැහැදුණු මුහුණු ඇත්තෝය, පළමුවෙන් කතා කරන්නෝය. ඔවුන්ට ම පිඬු දිය යුතුය”යි. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන ඒ භික්ෂුව දුටුවේය. දැක ඒ භික්ෂුව වෙත එළඹ, ඒ භික්ෂුවට වැඳ මෙසේ කීවේය: “ස්වාමීනි, පිඬු ලැබෙයි ද?” “ඇවැත්නි, පිඬු නොලැබෙයි.” “ස්වාමීනි, එන්න, ගෙදරට යමු.”