සන්ථත භාණවාරය
1. එසමයෙහි විසාලා නුවර වැසි බොහෝ වජ්ජිපුත්තක භික්ෂූහු රිසි තාක් වැළඳූහ; රිසි තාක් නිදාගත්හ; රිසි තාක් ස්නානය කළහ. රිසි තාක් වළඳා, රිසි තාක් නිදා, රිසි තාක් ස්නානය කොට, නුනුවණින් මෙනෙහි කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, දුබල බව හෙළි නොකොට, මෛථුන ධර්මය (ලිංගික සංසර්ගය) සේවනය කළහ. ඔවුහු පසු කලෙක ඥාති විපත්තියෙන් ද පෙළුණාහු, භෝග විපත්තියෙන් ද පෙළුණාහු, රෝග විපත්තියෙන් ද පෙළුණාහු, ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ වෙත එළඹ මෙසේ කියති: “ස්වාමීනි, ආනන්දයන් වහන්ස, අපි බුදුරජාණන් වහන්සේට දොස් නොකියන්නෝ වෙමු; ධර්මයට දොස් නොකියන්නෝ වෙමු; සංඝයාට දොස් නොකියන්නෝ වෙමු. ස්වාමීනි, ආනන්දයන් වහන්ස, අපි තමන්ටම දොස් කියන්නෝ වෙමු; අනුන්ට දොස් නොකියන්නෝ වෙමු. මෙසේ මැනවින් දේශනා කළ ධර්මවිනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු බඹසර හැසිරෙන්නට නොහැකි වූ අපිම අවාසනාවන්තයෝ (කාලකණ්ණීහු) වෙමු; අපිම අල්ප පින් ඇත්තෝ වෙමු. ස්වාමීනි, ආනන්දයන් වහන්ස, ඉදින් දැනුදු අපි භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිද්ද ලබන්නමු නම්, උපසම්පදාව ලබන්නමු නම්, දැනුදු අපි කුසල ධර්ම විදර්ශනා කරන්නෝ (විශේෂයෙන් දක්නෝ) ව, රාත්‍රියේ පෙර යාමයෙහි ද පසු යාමයෙහි ද බෝධිපාක්ෂික ධර්ම වැඩීමෙහි යෙදුණෝ ව වාසය කරන්නෙමු. ස්වාමීනි, ආනන්දයන් වහන්ස, මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරන සේක්වා.” “ඇවැත්නි, එසේය” යි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විසාලා නුවර වැසි වජ්ජිපුත්තක භික්ෂූන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
2. “ආනන්දය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට පනවන ලද පාරාජික ශික්ෂාපදය වජ්ජීන් නිසා හෝ වජ්ජිපුත්තකයන් නිසා හෝ අහෝසි කරන්නේය යන යමක් ඇද්ද, එය සිදුවිය නොහැකි කරුණකි; එයට ඉඩක් නැත” යි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කරුණෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, දුබල බව හෙළි නොකොට මෛථුන ධර්මය සේවනය කරයි ද, හෙතෙම නැවත පැමිණියේ උපසම්පදා නොකළ යුතුය. මහණෙනි, යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට, දුබල බව හෙළි කොට මෛථුන ධර්මය සේවනය කරයි ද, හෙතෙම නැවත පැමිණියේ උපසම්පදා කළ යුතුය. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
3. “යම් කිසි භික්ෂුවක් භික්ෂූන්ගේ ශික්ෂාවට (අධිශීල ශික්ෂාවට) ද සාජීවයට (පනවන ලද ශික්ෂාපදවලට) ද පැමිණියේ, ශික්ෂාව (ප්‍රාතිමෝක්ෂ සංවර ශික්ෂාව) ප්‍රතික්ෂේප නොකොට, සාජීවයෙහි දුබල බව හෙළි නොකොට, යටත් පිරිසෙයින් තිරිසන් සතෙකු සමඟ වුව ද මෛථුන ධර්මය (ලිංගික සංසර්ගය) සේවනය කරන්නේ නම්, හෙතෙම පාරාජික වූයේ (කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ) සංඝයා සමඟ එක්ව වාසය නැත්තේ වෙයි.”
[තෙවැනි පැනවීම]
4. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක්, යම් කටයුත්තක යෙදුණු, යම් ජාතියක් ඇති, යම් නමක් ඇති, යම් ගෝත්‍රයක් ඇති, යම් ස්වභාවයක් ඇති, යම් විහරණයක් ඇති, යම් ගොචරයක් (හැසිරෙන තැනක්) ඇති, ස්ථවිර (දස වස් පිරුණු) වූවෙක් හෝ නවක (පස් වසට අඩු) වූවෙක් හෝ මජ්ඣිම (පස් වසේ සිට දස වස දක්වා) වූවෙක් හෝ වේ ද, මොහු ‘යො පන’ (යමෙක්) යැයි කියනු ලැබේ.
5. භික්ඛු යනු: සිඟා යන්නේ යැයි භික්ෂුව නම් වේ. භික්ෂාචාරයට පැමිණියේ යැයි භික්ෂුව නම් වේ. බිඳුණු (කපා මසන ලද) වස්ත්‍ර දරන්නේ යැයි භික්ෂුව නම් වේ. ව්‍යවහාරයෙන් භික්ෂුව නම් වේ. ප්‍රතිඥාවෙන් (තමා භික්ෂුවක් යැයි කීමෙන්) භික්ෂුව නම් වේ. ‘එහි භික්ඛු’ (එව මහණ) යන වචනයෙන් භික්ෂුව වූයේ යැයි භික්ෂුව නම් වේ. තිසරණ ගමනයෙන් උපසම්පදාව ලැබුවේ යැයි භික්ෂුව නම් වේ. භද්‍ර (පව් නැති) භික්ෂුව ද, සාර (සීලය ආදී සාර ගුණවලින් යුත්) භික්ෂුව ද, සේඛ (හික්මෙන) භික්ෂුව ද, අසේඛ (හික්මීම අවසන් කළ) භික්ෂුව ද වේ. සමගි සංඝයා විසින් අකුප්ප (නොසෙල්විය හැකි), ඨානාරහ (ශාසනයට සුදුසු) ඤත්තිචතුත්ථ කර්මයෙන් (එක් ඤත්තියකින් හා අනුසාවනා තුනකින් කරන කර්මයෙන්) උපසම්පදා කරන ලද්දේ යැයි භික්ෂුව නම් වේ. ඔවුන් අතුරෙන් සමගි සංඝයා විසින් අකුප්ප වූ, ඨානාරහ වූ ඤත්තිචතුත්ථ කර්මයෙන් උපසම්පදා කරන ලද යම් මේ භික්ෂුවක් වේ ද, මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
6. සික්ඛා යනු: අධිසීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව යැයි ශික්ෂා තුනකි. ඒ අතුරෙන් යම් මේ අධිසීල ශික්ෂාවක් (පාතිමොක්ඛ සීලය) වේ ද, මේ අර්ථයෙහි ‘ශික්ෂාව’ යැයි අදහස් කරන ලද්දේ එයයි.
7. සාජීව නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද යම් ශික්ෂාපදයක් වේ ද, එය සාජීව නම් වේ. එහි හික්මෙයි; එහෙයින් සාජීවසමාපන්න (සාජීවයට පැමිණියේ) යැයි කියනු ලැබේ.