විනිශ්චය කළ කථාවස්තු (විනීතවත්ථු)
උද්දාන ගාථා:
මක්කටී, වජ්ජිපුත්තක, ගිහි, නග්න, තීර්ථිය වස්තූහු ද, දාරිකා, උප්පලවණ්ණා වස්තු ද, අන්‍ය වූ ව්‍යඤ්ජන (ලිංගය වෙනස් වූ) වස්තු දෙක ද,
මව, දියණිය, සහෝදරිය, භාර්යාව යන වස්තූහු ද, මුදුපිට්ඨී (මොළොක් පිට ඇත්තා), ලම්බී වස්තු දෙක ද, වණ වස්තු දෙක ද, ආලේප චිත්‍ර වස්තුව ද, දාරුධීතලිකා (දැවයෙන් කළ රූපය) වස්තුව ද,
සුන්දර වස්තුව සමග වස්තු පස ද, සොහොන් (සීවථික) වස්තු පස ද, ඇට (අට්ඨික) වස්තුව ද, නාගී, යක්ඛී, පේතී, පණ්ඩක, උපහත (ඉඳුරන් නැසුණු), ඡුප (ස්පර්ශ) වස්තූහු ද,
භද්දිය නුවර නිදාගත් රහතන් වහන්සේගේ වස්තුව ද, සැවැත් නුවර අන්‍ය වස්තු සතර ද, වේසාලි නුවර මල්ල වස්තු තුන ද, සිහින වස්තුව ද, භාරුකච්ඡක වස්තුව ද,
සුපබ්බා, සද්ධා, භික්ෂුණී, සික්ඛමානා, සාමණේරී වස්තූහු ද, වේශ්‍යා, පණ්ඩක, ගිහි, එකිනෙකා, මහලු වියෙහි පැවිදි වූ තැනැත්තා, මුවා යන වස්තූහු ද වෙත්.
1. එසමයෙහි එක්තරා භික්ෂුවක් වැඳිරියක් සමඟ මෛථුන ධර්මය (ලිංගික සංසර්ගය) සේවනය කළේය. “භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදය පනවන ලදී. කිම, මම පාරාජිකා ඇවැතට පැමිණියෙම් දෝ?” යි ඔහුට සැකයක් (කුකුසක්) ඇති විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළේය. -පෙ- “මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.” (1)
2. එසමයෙහි වේසාලි නුවර වැසි බොහෝ වජ්ජිපුත්තක භික්ෂූහු ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, දුර්වල බව ප්‍රකාශ නොකොට මෛථුන ධර්මය සේවනය කළහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදය පනවන ලදී. කිම, අපි පාරාජිකා ඇවැතට පැමිණියමෝ දෝ?” යි ඔවුන්ට සැකයක් (කුකුසක්) ඇති විය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. -පෙ- “මහණෙනි, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියහුය.” (2)
3. එසමයෙහි එක්තරා භික්ෂුවක් “මෙසේ මට ඇවැත් නොවන්නේය” යි ගිහි වෙසින් (සුදු වත් හැඳ) මෛථුන ධර්මය සේවනය කළේය. ඔහුට සැකයක් ඇති විය. -පෙ- “මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.” (3)
4. එසමයෙහි එක්තරා භික්ෂුවක් “මෙසේ මට ඇවැත් නොවන්නේය” යි නිරුවත් වී මෛථුන ධර්මය සේවනය කළේය. ඔහුට සැකයක් ඇති විය. -පෙ- “මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.” (4)
5. එසමයෙහි එක්තරා භික්ෂුවක් “මෙසේ මට ඇවැත් නොවන්නේය” යි කුසතණ ගොතා කළ වැහැරිය (කුසචීර) හැඳ -පෙ- තවුසන් හඳින ගස් පොතුවලින් කළ වැහැරිය (වාකචීර) හැඳ -පෙ- පුවරු හැඩයට පුවරු මසා කළ වැහැරිය (ඵලකචීර) හැඳ -පෙ- කෙස්වලින් වියූ කම්බිලිය හැඳ -පෙ- සෙමර ලොම්වලින් වියූ කම්බිලිය හැඳ -පෙ- බකමුහුණන්ගේ පියාපත්වලින් කළ හැඳුම හැඳ -පෙ- ලොම් සහිත, කුර සහිත අඳුන් මුව සම (අජිනක්ඛිප) හැඳ මෛථුන ධර්මය සේවනය කළේය. ඔහුට සැකයක් ඇති විය. -පෙ- “මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.” (5-11)
6. එසමයෙහි පිඬු සිඟා යන (පිණ්ඩචාරික) එක්තරා භික්ෂුවක් පුටුවක නිදා සිටි දැරියක් දැක (කාය සංසර්ග රාගයෙන්) ඇලුණු සිත් ඇත්තේ ඇගේ අඞ්ගජාතයට (රහස් අඟට) මාපටැඟිල්ල ඇතුළු කළේය. ඕ මිය ගියාය. ඔහුට සැකයක් ඇති විය. -පෙ- “මහණ, පාරාජිකා ඇවැත් නැත. සංඝාදිසේස ඇවැත් වේ.” (12)
7. එසමයෙහි එක්තරා තරුණයෙක් උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ කෙරෙහි (ගිහි කල පටන්) ඇලුණු සිත් ඇත්තේ වෙයි. ඉක්බිති ඒ තරුණයා උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ ගමට පිඬු පිණිස වැඩි කල්හි කුටියට පිවිස සැඟවී හුන්නේය. උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් ආපසු වැඩම කොට පා සෝදා කුටියට පිවිස ඇඳෙහි වැඩ හුන්හ. ඉක්බිති (උන්වහන්සේ හිඳගත් සැණින්ම) ඒ තරුණයා උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ බලෙන් අල්ලාගෙන දූෂණය කළේය. උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ මේ කරුණ භික්ෂුණීන්ට සැල කළහ. භික්ෂුණීහු මේ කරුණ භික්ෂූන්ට සැල කළහ. භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. -පෙ- “මහණෙනි, නොඉවසන්නියට ඇවැත් නැත.” (13)
8. එසමයෙහි එක්තරා භික්ෂුවකට ස්ත්‍රී ලිංගය පහළ විය. (භික්ෂූහු) භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, එම උපාධ්යායයන්ම ද, එම උපසම්පදාවම ද, ඒ වස් ගණනම ද, භික්ෂුණීන් සමඟ එක්වන්නට ද අනුමත කරමි. භික්ෂූන්ට භික්ෂුණීන් හා පොදු (සාධාරණ) වූ යම් ඇවැත් වේ නම්, ඒ ඇවැත්වලින් භික්ෂුණීන් වෙත නැගී සිටින්නට (පිරිසිදු වන්නට) අනුමත කරමි. භික්ෂූන්ට භික්ෂුණීන් හා පොදු නොවූ (අසාධාරණ) යම් ඇවැත් වේ නම්, ඒ ඇවැත්වලින් ඇවැත් නැත.” (14)
9. එසමයෙහි එක්තරා භික්ෂුණියකට පුරුෂ ලිංගය පහළ විය. (භික්ෂූහු) භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, එම උපාධ්යායිනියම ද, එම උපසම්පදාවම ද, ඒ වස් ගණනම ද, භික්ෂූන් සමඟ එක්වන්නට ද අනුමත කරමි. භික්ෂුණීන්ට භික්ෂූන් හා පොදු (සාධාරණ) වූ යම් ඇවැත් වේ නම්, ඒ ඇවැත්වලින් භික්ෂූන් වෙත නැගී සිටින්නට (පිරිසිදු වන්නට) අනුමත කරමි. භික්ෂුණීන්ට භික්ෂූන් හා පොදු නොවූ (අසාධාරණ) යම් ඇවැත් වේ නම්, ඒ ඇවැත්වලින් ඇවැත් නැත.” (15)