සුදින්න භාණවාරය
1. එසමයෙහි වේසාලි නුවර අසල කලන්දගාම නම් ගමක් වෙයි. එහි කලන්දපුත්ත (කලන්ද සිටුවරයාගේ පුත්) වූ සුදින්න නම් සිටු පුතෙක් වෙයි. ඉක්බිති කලන්දපුත්ත සුදින්න බොහෝ යහළුවන් සමඟ කිසියම් කටයුත්තක් සඳහා වේසාලි නුවරට ගියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් වැඩ හුන් සේක.
2. කලන්දපුත්ත සුදින්න මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ඔහුට “මමත් ධර්මය අසන්නේ නම් මැනවි” යි මෙබඳු සිතක් විය. ඉක්බිති කලන්දපුත්ත සුදින්න ඒ පිරිස වෙත ගියේය. ගොස් එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් කලන්දපුත්ත සුදින්නට මෙබඳු සිතක් විය: “භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම යම් යම් ආකාරයකින් දනිම් ද, ඒ අනුව ගිහි ගෙයි වසන්නකු විසින් මුළුමනින් පිරිපුන්, මුළුමනින් පිරිසිදු, ඔප දැමූ සක් ගෙඩියක් බඳු (සඞ්ඛලිඛිත) බඹසර හැසිරීම පහසු නොවේ. මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වන්නේ නම් මැනවි” යි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් කරුණු පෙන්වා දෙන ලද, (කුසලයෙහි) සමාදන් කරවන ලද, උත්සාහවත් කරවන ලද, සතුටු කරවන ලද ඒ පිරිස හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
4. ඉක්බිති කලන්දපුත්ත සුදින්න ඒ පිරිස නැගිට ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් කලන්දපුත්ත සුදින්න භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම යම් යම් ආකාරයකින් දනිම් ද, ඒ අනුව ගිහි ගෙයි වසන්නකු විසින් මුළුමනින් පිරිපුන්, මුළුමනින් පිරිසිදු, ඔප දැමූ සක් ගෙඩියක් බඳු (සඞ්ඛලිඛිත) බඹසර හැසිරීම පහසු නොවේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වන්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරන සේක්වා” යි.
“සුදින්න, ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට ඔබට මව්පියන්ගේ අවසර ලැබී තිබේ ද?”
“ස්වාමීනි, ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට මව්පියන් මට අවසර දී නැත.”
“සුදින්න, තථාගතයන් වහන්සේලා මව්පියන්ගේ අවසර නොලත් පුතකු පැවිදි නොකරන සේක.”
“ස්වාමීනි, ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට මව්පියන් මට යම් සේ අවසර දෙත් ද, මම එසේ කරන්නෙමි.”
5. ඉක්බිති කලන්දපුත්ත සුදින්න වේසාලි නුවර ඒ කටයුත්ත අවසන් කොට කලන්දගාමයෙහි සිය මව්පියන් වෙත ගියේය. ගොස් මව්පියන්ට මෙය කීය: “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම යම් යම් ආකාරයකින් දනිම් ද, ඒ අනුව ගිහි ගෙයි වසන්නකු විසින් මුළුමනින් පිරිපුන්, මුළුමනින් පිරිසිදු, ඔප දැමූ සක් ගෙඩියක් බඳු (සඞ්ඛලිඛිත) බඹසර හැසිරීම පහසු නොවේ. මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වන්නට කැමැත්තෙමි. ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට මට අවසර දෙනු මැනවි” යි. මෙසේ කී කල්හි කලන්දපුත්ත සුදින්නගේ මව්පියෝ කලන්දපුත්ත සුදින්නට මෙය කීහ: “දරුව සුදින්න, ඔබ අපගේ ප්‍රිය වූ, මනාප වූ, සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කරන ලද එකම පුතා වෙහි. දරුව සුදින්න, ඔබ කිසිම දුකක් නොදන්නෙහිය. ඔබගේ මරණයෙන් වුවද අපි නොකැමැත්තෙන්ම ඔබගෙන් වෙන් වන්නෙමු. එසේ හෙයින් ජීවත්ව සිටින ඔබට ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට අපි කෙසේ නම් අවසර දෙන්නෙමු ද?”
6. දෙවන වරටත් -පෙ- තෙවන වරටත් කලන්දපුත්ත සුදින්න මව්පියන්ට මෙය කීය: “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම යම් යම් ආකාරයකින් දනිම් ද, ඒ අනුව ගිහි ගෙයි වසන්නකු විසින් මුළුමනින් පිරිපුන්, මුළුමනින් පිරිසිදු, ඔප දැමූ සක් ගෙඩියක් බඳු (සඞ්ඛලිඛිත) බඹසර හැසිරීම පහසු නොවේ. මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වන්නට කැමැත්තෙමි. ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට මට අවසර දෙනු මැනවි” යි. තෙවන වරටත් කලන්දපුත්ත සුදින්නගේ මව්පියෝ කලන්දපුත්ත සුදින්නට මෙය කීහ: “දරුව සුදින්න, ඔබ අපගේ ප්‍රිය වූ, මනාප වූ, සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කරන ලද එකම පුතා වෙහි. දරුව සුදින්න, ඔබ කිසිම දුකක් නොදන්නෙහිය. ඔබගේ මරණයෙන් වුවද අපි නොකැමැත්තෙන්ම ඔබගෙන් වෙන් වන්නෙමු. එසේ හෙයින් ජීවත්ව සිටින ඔබට ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට අපි කෙසේ නම් අවසර දෙන්නෙමු ද?”
7. ඉක්බිති කලන්දපුත්ත සුදින්න “ගිහි ගෙයින් නික්ම අනගාරික බවට පැවිදි වීමට මව්පියෝ මට අවසර නොදෙති” යි සිතා, “මෙහිදීම මට මරණය හෝ වන්නේය, පැවිද්ද හෝ වන්නේය” යි එතැනම කිසිවක් නොඇතිරූ බිමෙහි වැතිරුණේය. ඉක්බිති කලන්දපුත්ත සුදින්න එක් බත් වේලක්වත් අනුභව නොකළේය. බත් වේල් දෙකක්ද අනුභව නොකළේය. බත් වේල් තුනක්ද අනුභව නොකළේය. බත් වේල් හතරක්ද අනුභව නොකළේය. බත් වේල් පහක්ද අනුභව නොකළේය. බත් වේල් හයක්ද අනුභව නොකළේය. බත් වේල් හතක්ද අනුභව නොකළේය. (දින හතක්ම ආහාර නොගත්තේය යනු අදහසයි.)