6. සේඛිය කාණ්ඩය
ආර්යාවෙනි, මේ සේඛිය ධර්ම උදෙසීමට පැමිණේ.
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂුණීහු ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ (අඳනය) හැඳ ගත්හ. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ හඳින්නේ කෙසේ ද?” හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ.
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද, -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීහු ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ හඳින්නේ කෙසේ ද?” -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ හඳින බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ හඳින්නේ කෙසේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
වටේට සමව (පිරිමඬුලු කොට) අඳනය හඳින්නෙමි යි හික්මිය යුතු ය.
3. නාභි වටයත් දණහිස් වටයත් වැසෙන සේ භික්ෂුණිය විසින් වටේට සමව අඳනය හැඳිය යුතු ය. යම් භික්ෂුණියක් නොසැලකිල්ලෙන් (අනාදරයෙන්) ඉදිරියෙන් හෝ පසුපසින් හෝ එල්ලෙන සේ හඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නියට ද, සිහිය නැතිව කරන්නියට ද, නොදැන කරන්නියට ද, ගිලන් වූවියට ද, ආපදාවලදී ද -පෙ- සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂුණීහු කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් ජලයෙහි මලපහ කිරීමත් මුත්‍රා කිරීමත් කෙළ ගැසීමත් කළහ. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “භික්ෂුණීහු ජලයෙහි මලපහ කිරීමත් මුත්‍රා කිරීමත් කෙළ ගැසීමත් කරන්නේ කෙසේ ද?”
හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ.
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද, -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීහු ජලයෙහි මලපහ කිරීමත් මුත්‍රා කිරීමත් කෙළ ගැසීමත් කරන්නේ කෙසේ ද?” එවිට භික්ෂුණීහු මේ කරුණ භික්ෂූන්ට දැන්වූහ. භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
3. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිදී, මේ අවස්ථාවෙහිදී භික්ෂු සංඝයා රැස් කරවා ධර්ම කතාවක් කොට භික්ෂූන්ගෙන් ඇසූ සේක: “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු ජලයෙහි මලපහ කිරීමත් මුත්‍රා කිරීමත් කෙළ ගැසීමත් කරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු ජලයෙහි මලපහ කිරීමත් මුත්‍රා කිරීමත් කෙළ ගැසීමත් කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
ජලයෙහි මලපහ කිරීම හෝ මුත්‍රා කිරීම හෝ කෙළ ගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු ය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.
4. ඒ කාලයෙහි ගිලන් වූ භික්ෂුණීහු ජලයෙහි මලපහ කිරීමටත් මුත්‍රා කිරීමටත් කෙළ ගැසීමටත් සැක උපදවා ගෙන (කුකුස් කොට) පසුබට වූහ. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. -පෙ- “මහණෙනි, ගිලන් භික්ෂුණියට ජලයෙහි මලපහ කිරීමටත් මුත්‍රා කිරීමටත් කෙළ ගැසීමටත් අනුමත කරමි. මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
ගිලන් නොවී සිටිමින් ජලයෙහි මලපහ කිරීම හෝ මුත්‍රා කිරීම හෝ කෙළ ගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු ය.
5. ගිලන් නොවූ භික්ෂුණිය විසින් ජලයෙහි මලපහ කිරීම හෝ මුත්‍රා කිරීම හෝ කෙළ ගැසීම හෝ නොකළ යුතු ය. යම් භික්ෂුණියක් නොසැලකිල්ලෙන් (අනාදරයෙන්) ගිලන් නොවී සිටිමින් ජලයෙහි මලපහ කිරීම හෝ මුත්‍රා කිරීම හෝ කෙළ ගැසීම හෝ කරයි නම් දුක්කට ඇවැත් වේ.