දෙවන – අටවන පාටිදේසනීය ශික්ෂාපද
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂුණීහු තල තෙල් ඉල්ලා වළඳති. -පෙ- මී පැණි ඉල්ලා වළඳති. -පෙ- උක් පැණි ඉල්ලා වළඳති. -පෙ- මාළු ඉල්ලා වළඳති. -පෙ- මස් ඉල්ලා වළඳති. -පෙ- කිරි ඉල්ලා වළඳති. -පෙ- මුදවාපු කිරි (දිහි) ඉල්ලා වළඳති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු දිහි ඉල්ලා වළඳන්නෝද? මිහිරි දෙයක් කාට නම් ප්‍රිය නොවේද? රසවත් දෙයක් කාට නම් රුචි නොවේද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ.
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීහු දිහි ඉල්ලා වළඳන්නෝද?” කියා. -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු දිහි ඉල්ලා වළඳන බව සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීහු දිහි ඉල්ලා වළඳන්නෝද? මහණෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
යම් භික්ෂුණියක් දිහි ඉල්ලා වළඳන්නී නම්, ඒ භික්ෂුණිය විසින් ‘ආර්යාවෙනි, ගැරහිය යුතු වූ, නුසුදුසු වූ, පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය පිළිදෙසමි’ යි පිළිදෙසිය යුතුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
3. එකල භික්ෂුණීහු ගිලන් වූවාහු වෙති. ගිලනුන්ගේ සුවදුක් විචාරන භික්ෂුණීහු ගිලන් භික්ෂුණීන්ට මෙය කීහ: “ආර්යාවෙනි, ඉවසිය හැකිද? යැපිය හැකිද?” “ආර්යාවෙනි, අපි පෙර දිහි ඉල්ලා වළඳමු. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් එය තහනම් කරන ලදැයි සැක කරමින් (කුකුස් කරමින්) නොඉල්ලමු. එයින් අපට පහසු නොවේ.” -පෙ- මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. -පෙ- “මහණෙනි, ගිලන් භික්ෂුණියට දිහි ඉල්ලා වළඳන්නට අනුමත කරමි. මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).”
යම් භික්ෂුණියක් ගිලන් නොවී දිහි ඉල්ලා වළඳන්නී නම්, ඒ භික්ෂුණිය විසින් ‘ආර්යාවෙනි, ගැරහිය යුතු වූ, නුසුදුසු වූ, පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය පිළිදෙසමි’ යි පිළිදෙසිය යුතුය.
4. යා පන යනු: යම්, යම් බඳු -පෙ- භික්ඛුනී යනු: -පෙ- ඈ මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අගිලානා (ගිලන් නොවූ) නම්: යමකුට දිහි නැතිව පහසු වේ නම් ඇය යි. ගිලානා (ගිලන් වූ) නම්: යමකුට දිහි නැතිව පහසු නොවේ නම් ඇය යි. තෙල් නම්: තල තෙල්, අබ තෙල්, මී තෙල්, එඬරු තෙල්, වුරුණු තෙල් (සතුන්ගේ මේදයෙන් ගත් තෙල්) යි. මධු නම්: මී මැස්සන්ගේ පැණි යි. ඵාණිත නම්: උක්වලින් හැදූ පැණි යි. මච්ඡ නම්: දියෙහි වසන සතුන්ගේ මස (මාළු) යැයි කියනු ලැබේ. මංස නම්: යම් සතුන්ගේ මස් කැප (සුදුසු) නම් ඔවුන්ගේ මස් යි. ඛීර නම්: එළකිරි හෝ එළු කිරි හෝ මී කිරි හෝ යම් සතුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ කිරි යි. දධි නම්: ඔවුන්ගේම දිහි යි.
ගිලන් නොවූ භික්ෂුණිය තමා සඳහා ඉල්ලයි නම් ඉල්ලන උත්සාහයෙහි දුක්කට ඇවැත් වේ. ලැබුණු විට ‘වළඳන්නෙමි’ යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත් වේ. ගිලන් නොවූ ඇය ගිලන් නොවූවෙකැයි සිතා දිහි ඉල්ලා වළඳයි නම් පාටිදේසනීය ඇවැත් වේ.
ගිලන් නොවූ ඇය නොගිලන් යැයි සිතා දිහි ඉල්ලා වළඳයි නම් පාටිදේසනීය ඇවැත් වේ. ගිලන් නොවූ ඇය සැකයෙන් යුතුව දිහි ඉල්ලා වළඳයි නම් පාටිදේසනීය ඇවැත් වේ. ගිලන් නොවූ ඇය ගිලන් යැයි සිතා දිහි ඉල්ලා වළඳයි නම් පාටිදේසනීය ඇවැත් වේ.
ගිලන් වූ ඇය නොගිලන් යැයි සිතයි නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූ ඇය සැකයෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. ගිලන් වූ ඇය ගිලන් යැයි සිතයි නම් ඇවැත් නැත.