4. 8. 7.
සත්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි එක්තරා සික්ඛමානාවක් (උපසම්පදාවට පෙර හික්මෙන තැනැත්තියක්) ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් උපසම්පදාව ඉල්ලුවාය. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ සික්ඛමානාවට “ආර්යාවෙනි, ඉදින් ඔබ මට සිවුරක් දෙන්නේ නම්, එසේ මම ඔබ උපසම්පදා කරවන්නෙමි”යි කියා උපසම්පදා නොම කරවයි. උපසම්පදා කරවීම පිණිස උත්සාහයක් ද නොකරයි. එවිට ඒ සික්ඛමානාව භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවාය.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආර්යා ථුල්ලනන්දා සික්ඛමානාවකට ‘ආර්යාවෙනි, ඉදින් ඔබ මට සිවුරක් දෙන්නේ නම්, එසේ මම ඔබ උපසම්පදා කරවන්නෙමි’යි කියා උපසම්පදා නොම කරවන්නේ ද, උපසම්පදා කරවීම පිණිස උත්සාහ නොකරන්නේ ද කෙසේ ද?” -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සික්ඛමානාවකට ‘ආර්යාවෙනි, ඉදින් ඔබ මට සිවුරක් දෙන්නේ නම්, එසේ මම ඔබ උපසම්පදා කරවන්නෙමි’යි කියා උපසම්පදා නොම කරවයි, උපසම්පදා කරවීම පිණිස උත්සාහ ද නොකරයි යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සික්ඛමානාවකට ‘ආර්යාවෙනි, ඉදින් ඔබ මට සිවුරක් දෙන්නේ නම්, එසේ මම ඔබ උපසම්පදා කරවන්නෙමි’යි කියා උපසම්පදා නොම කරවන්නේ ද, උපසම්පදා කරවීම පිණිස උත්සාහ නොකරන්නේ ද කෙසේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සික්ඛමානාවකට ‘ආර්යාවෙනි, ඉදින් ඔබ මට සිවුරක් දෙන්නේ නම්, එසේ මම ඔබ උපසම්පදා කරවන්නෙමි’යි කියා, පසුව ඇය අනතුරක් නැති වුවත් උපසම්පදා නොම කරවයි නම්, උපසම්පදා කරවීම පිණිස උත්සාහ ද නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සික්ඛමානා නම්: අවුරුදු දෙකක් ධර්ම හයෙහි හික්මුණු තැනැත්තියයි.
සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමි: එසේ මම ඔබ උපසම්පදා කරවන්නෙමි.
සා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.
නෙව වුට්ඨාපෙය්ය: තමා උපසම්පදා නොම කරවයි.
න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය: අනෙකකුට (උපසම්පදා කරවන්නට) අණ නොකරයි. “උපසම්පදා නොම කරවන්නෙමි, උපසම්පදා කරවීමට උත්සාහ නොකරන්නෙමි”යි ඒ වගකීම අත්හළ (ධුරනික්ෂේප කළ) සැණින් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: අනතුරක් ඇති කල්හි, සොයා බලා (උපකාර කරන අය) නොලැබෙයි නම්, ගිලන් වූ තැනැත්තියට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සත්වන ශික්ෂාපදය යි.
4. 8. 8.
අටවන ශික්ෂාපදය
1. සැවැත් නුවර දී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි එක්තරා සික්ඛමානාවක් (උපසම්පදාවට පෙර හික්මෙන තැනැත්තියක්) ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් උපසම්පදාව ඉල්ලුවාය. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ සික්ඛමානාවට “ආර්යාවෙනි, ඔබ දෙවසරක් මට උපස්ථාන කරන්නෙහි නම්, මම ඔබව උපසම්පදා කරවන්නෙමි”යි කියා උපසම්පදා නොකරවයි. උපසම්පදා කරවීම පිණිස උත්සාහයක් ද නොකරයි. එවිට ඒ සික්ඛමානාව භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවාය.