8. කුමාරීභූත වර්ගය
4. 8. 1.
පළමු ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල භික්ෂුණීහු අවුරුදු විස්සකට අඩු කුමාරීභූත (සාමණේරි) අය උපසම්පදා කරවති. ඔවුහු සීතලට, උෂ්ණයට, බඩගින්නට, පිපාසයට ඔරොත්තු නොදෙති. ඩැහැගන්නා මැසි, මදුරුවන්, සුළඟ, අව්ව, සර්පයන් වැනි දිගැති සතුන් යන මොවුන්ගේ ස්පර්ශය ද, නරක ලෙස කියූ, නරක අදහසින් පැමිණි වචන ද, ශරීරයෙහි උපන් දුක් වූ, තියුණු වූ, රළු වූ, කටුක වූ, නොරිසි වූ, සිතට අප්‍රිය වූ, දිවි නසන තරම් වූ වේදනා ද නොඉවසන ස්වභාව ඇත්තෝ වෙති.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීන් සිටියා ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු අවුරුදු විස්සකට අඩු සාමණේරියක උපසම්පදා කරවන්නාහු ද?” යි. -පෙ- “මහණෙනි, භික්ෂුණීහු අවුරුදු විස්සකට අඩු සාමණේරියක උපසම්පදා කරවති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු අවුරුදු විස්සකට අඩු සාමණේරියක උපසම්පදා කරවන්නාහු ද? මහණෙනි, අවුරුදු විස්සකට අඩු සාමණේරිය සීතලට, උෂ්ණයට ඔරොත්තු නොදෙයි. -පෙ- දිවි නසන තරම් වූ වේදනා ද නොඉවසන ස්වභාව ඇත්තී වෙයි. මහණෙනි, අවුරුදු විස්ස පිරුණු සාමණේරිය වනාහි සීතලට, උෂ්ණයට ඔරොත්තු දෙයි. -පෙ- දිවි නසන තරම් වූ වේදනා ද ඉවසන ස්වභාව ඇත්තී වෙයි. මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් අවුරුදු විස්සකට අඩු සාමණේරියක උපසම්පදා කරවන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ඌනවීසතිවස්සා නම්: අවුරුදු විස්සකට නොපැමිණියා ය.
කුමාරීභූතා නම්: සාමණේරිය කියනු ලැබේ.
වුට්ඨාපෙය්ය: උපසම්පදා කරවයි.
“උපසම්පදා කරවන්නෙමි” යි ගණයා (භික්ෂුණී පිරිස) හෝ ආචාර්ය භික්ෂුණියක හෝ පාත්‍රයක් හෝ සිවුරක් හෝ සොයයි නම්, සීමාවක් හෝ සම්මත කරයි නම් දුක්කට ඇවැත් වේ. ඤත්තියෙන් (සංඝයාට කරන දැන්වීමෙන්) දුක්කට ඇවැත් වේ. කර්ම වාක්‍ය දෙකෙන් දුක්කට ඇවැත් දෙකක් වේ. කර්ම වාක්‍යය අවසන් වූ විට උපාධ්‍යාය භික්ෂුණියට පාචිත්තිය ඇවැත් වේ. ගණයාට ද ආචාර්ය භික්ෂුණියට ද දුක්කට ඇවැත් වේ.
අවුරුදු විස්සකට අඩු තැනැත්තිය ගැන අවුරුදු විස්සකට අඩු යැයි හැඟීම ඇත්තී උපසම්පදා කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. අවුරුදු විස්සකට අඩු තැනැත්තිය ගැන සැක ඇත්තී උපසම්පදා කරවයි නම් දුක්කට ඇවැත් වේ. අවුරුදු විස්සකට අඩු තැනැත්තිය ගැන (අවුරුදු විස්ස) පිරුණු යැයි හැඟීම ඇත්තී උපසම්පදා කරවයි නම් ඇවැත් නැත.
අවුරුදු විස්ස පිරුණු තැනැත්තිය ගැන අවුරුදු විස්සකට අඩු යැයි හැඟීම ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. අවුරුදු විස්ස පිරුණු තැනැත්තිය ගැන සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. අවුරුදු විස්ස පිරුණු තැනැත්තිය ගැන පිරුණු යැයි හැඟීම ඇත්තී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අවුරුදු විස්සකට අඩු අයෙකු (අවුරුදු විස්ස) පිරුණු යැයි හැඟීම ඇත්තී උපසම්පදා කරවයි නම්, අවුරුදු විස්ස පිරුණු අයෙකු පිරුණු යැයි හැඟීම ඇත්තී උපසම්පදා කරවයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමු ශික්ෂාපදය යි.
4. 8. 2.
දෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල භික්ෂුණීහු අවුරුදු විස්ස පිරුණු, අවුරුදු දෙකක් ධර්ම හයෙහි (සිල් පද හයෙහි) නොහික්මුණු සාමණේරියන් උපසම්පදා කරවති. ඔවුහු නොදන්නෝ, අදක්ෂයෝ වෙති. කැප දෙය හෝ නොකැප දෙය හෝ නොදනිති. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු අවුරුදු විස්ස පිරුණු, අවුරුදු දෙකක් ධර්ම හයෙහි නොහික්මුණු සාමණේරියන් උපසම්පදා කරවන්නාහු දැ”යි. -පෙ- “මහණෙනි, භික්ෂුණීහු අවුරුදු විස්ස පිරුණු, අවුරුදු දෙකක් ධර්ම හයෙහි නොහික්මුණු සාමණේරියන් උපසම්පදා කරවති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු අවුරුදු විස්ස පිරුණු, අවුරුදු දෙකක් ධර්ම හයෙහි නොහික්මුණු සාමණේරියන් උපසම්පදා කරවන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ-” ගරහා -පෙ- ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අවුරුදු දහඅටක් වූ සාමණේරියකට අවුරුදු දෙකක් ධර්ම හයෙහි ශික්ෂා සම්මුතිය (ශික්ෂාවෙහි හික්මීමට සංඝයා දෙන අනුමැතිය) දෙන්නට අනුමත කරමි. මහණෙනි, එය මෙසේ දිය යුතුය: අවුරුදු දහඅටක් වූ ඒ සාමණේරිය සංඝයා වෙත එළඹ, උතුරු සිවුර එක් උරහිසක් වැසෙන සේ පොරවා, භික්ෂුණීන්ගේ පා වැඳ, උක්කුටිකව (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, ඇඳිලි බැඳ මෙසේ කිව යුතුය: ‘ආර්යාවෙනි, අසවල් නම් ඇති ආර්යාව යටතේ සිටින, අවුරුදු දහඅටක් වූ සාමණේරියක වන අසවල් නම් ඇති මම සංඝයාගෙන් අවුරුදු දෙකක් ධර්ම හයෙහි ශික්ෂා සම්මුතිය ඉල්ලමි.’ දෙවන වරටත් ඉල්ලිය යුතුය. තුන්වන වරටත් ඉල්ලිය යුතුය. දක්ෂ වූ, සමර්ථ වූ භික්ෂුණියක විසින් සංඝයාට දැන්විය යුතුය.