4. 7. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට (පවත්තිනී) අවුරුදු දෙකක් උවටැන් නොකරති. ඔවුහු නොදන්නෝ, අදක්ෂයෝ වෙති. කැප දේ හෝ නොකැප දේ හෝ නොදනිති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීන් සිටියේ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකළෝ ද?” කියා. -පෙ- “මහණෙනි, භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකරති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකළෝ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් තමා උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
2. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
3. වුට්ඨාපිතං: උපසම්පදා කරවන ලද.
පවත්තිනී නම්: උපාධ්‍යාය භික්ෂුණිය කියනු ලැබේ.
ද්වෙ වස්සානි: අවුරුදු දෙකක්.
නානුබන්ධෙය්ය: උවටැන් නොකරයි. “අවුරුදු දෙකක් උවටැන් නොකරන්නෙමි” යි වගකීම බැහැර කළ (ධුරනික්‍ෂේපය කළ) විගස පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: උපාධ්‍යාය භික්ෂුණිය නොදන්නියක හෝ ලැජ්ජා නැත්තියක හෝ වේ නම්, ගිලන් වූ භික්ෂුණියට, ආපදා අවස්ථාවල ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය යි.
4. 7. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක (තමා ළඟ වසන ශිෂ්‍ය භික්ෂුණියක) උපසම්පදා කරවා ඇය (වෙනත් තැනකට) තමා රැගෙන නොගියා ය. (රැගෙන යන ලෙස) අනිකෙකුට නියම කළේ ද නැත. (එවිට) සැමියා ඇය අල්ලා ගත්තේ ය. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීන් සිටියා ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා සහජීවිනියක උපසම්පදා කරවා ඇය තමා රැගෙන නොගියා ද, අනිකෙකුට නියම නොකළා ද, සැමියා ඇය අල්ලා ගත්තේ ය. ඉදින් මේ භික්ෂුණිය (වෙනත් තැනකට) පිටත් ව ගියා නම් සැමියා ඇය අල්ලා නොගන්නේ ය” යි. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක උපසම්පදා කරවා ඇය තමා රැගෙන නොගියා ද, අනිකෙකුට නියම නොකළා ද, සැමියා ඇය අල්ලා ගත්තේ ද යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක උපසම්පදා කරවා ඇය තමා රැගෙන නොගියා ද, අනිකෙකුට නියම නොකළා ද, සැමියා ඇය අල්ලා ගත්තේ ය. මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සහජීවිනියක උපසම්පදා කරවා, අඩු තරමින් යොදුන් පහක් හයක් දුරකටවත් ඇය තමා රැගෙන නොයන්නී නම්, අනිකෙකු ලවා රැගෙන නොයවන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.