4. 7. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක (තමා ළඟ වසන ශිෂ්‍ය භික්ෂුණියක) උපසම්පදා කරවා ඇය (වෙනත් තැනකට) තමා රැගෙන නොගියා ය. (රැගෙන යන ලෙස) අනිකෙකුට නියම කළේ ද නැත. (එවිට) සැමියා ඇය අල්ලා ගත්තේ ය. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීන් සිටියා ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා සහජීවිනියක උපසම්පදා කරවා ඇය තමා රැගෙන නොගියා ද, අනිකෙකුට නියම නොකළා ද, සැමියා ඇය අල්ලා ගත්තේ ය. ඉදින් මේ භික්ෂුණිය (වෙනත් තැනකට) පිටත් ව ගියා නම් සැමියා ඇය අල්ලා නොගන්නේ ය” යි. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක උපසම්පදා කරවා ඇය තමා රැගෙන නොගියා ද, අනිකෙකුට නියම නොකළා ද, සැමියා ඇය අල්ලා ගත්තේ ද යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක උපසම්පදා කරවා ඇය තමා රැගෙන නොගියා ද, අනිකෙකුට නියම නොකළා ද, සැමියා ඇය අල්ලා ගත්තේ ය. මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සහජීවිනියක උපසම්පදා කරවා, අඩු තරමින් යොදුන් පහක් හයක් දුරකටවත් ඇය තමා රැගෙන නොයන්නී නම්, අනිකෙකු ලවා රැගෙන නොයවන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සහජීවිනී නම්: සද්ධිවිහාරිනී (තමා ළඟ වසන ශිෂ්‍ය භික්ෂුණිය) කියනු ලැබේ.
වුට්ඨාපෙත්වා: උපසම්පදා කරවා.
නෙව වූපකාසෙය්ය: ඇය තමා රැගෙන නොයයි.
න වූපකාසාපෙය්ය: (රැගෙන යන ලෙස) අනිකෙකුට නියම නොකරයි.
“අඩු තරමින් යොදුන් පහක් හයක් දුරකටවත් ඇය තමා රැගෙන නොයන්නෙමි, අනිකෙකු ලවා රැගෙන නොයවන්නෙමි” යි වගකීම බැහැර කළ (ධුරනික්‍ෂේපය කළ) විගස පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: අනතුරක් ඇති විට, සොයා බලා දෙවැනි භික්ෂුණියක නොලබන්නී නම් ඇවැත් නැත. ගිලන් වූ භික්ෂුණියට, ආපදා අවස්ථාවල ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
හත්වැනි ගබ්භිනී වර්ගය යි.
එහි උද්දානය (මාතෘකා සංග්‍රහය):
ගබ්භිනී ද, පායන්තී ද, ඡධම්ම ද, අසම්මත ද, ඌනද්වාදස ද, පරිපුණ්ණ (ද්වාදස) ද, සංඝ ද, සහජීවිනී ද, වුට්ඨාපිත ද, ඡපඤ්ච යෝජන ද යන මේවා යි.