4. 7. 8.
අටවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක (ශිෂ්‍ය භික්ෂුණියක) උපසම්පදා කරවා අවුරුදු දෙකක් ඇයට කිසිසේත් අනුග්‍රහ නොකරයි; අන් අයෙකු ලවා අනුග්‍රහ ද නොකරවයි. ඒ භික්ෂුණීහු නොදන්නෝ, අදක්ෂයෝ වෙති. කැප දේ හෝ නොකැප දේ හෝ නොදනිති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීන් සිටියේ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා සහජීවිනියක උපසම්පදා කරවා අවුරුදු දෙකක් කිසිසේත් අනුග්‍රහ නොකළා ද? අන් අයෙකු ලවා අනුග්‍රහ නොකරවූවා ද?” කියා. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක උපසම්පදා කරවා අවුරුදු දෙකක් කිසිසේත් අනුග්‍රහ නොකරයි, අන් අයෙකු ලවා අනුග්‍රහ නොකරවයි යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සහජීවිනියක උපසම්පදා කරවා අවුරුදු දෙකක් කිසිසේත් අනුග්‍රහ නොකළා ද? අන් අයෙකු ලවා අනුග්‍රහ නොකරවූවා ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සහජීවිනියක උපසම්පදා කරවා අවුරුදු දෙකක් කිසිසේත් අනුග්‍රහ නොකරයි නම්, අන් අයෙකු ලවා අනුග්‍රහ (පාඩම් දීම් ආදිය) නොකරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
2. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සහජීවිනී නම්: සද්ධිවිහාරිනිය (ශිෂ්‍ය භික්ෂුණිය) කියනු ලැබේ.
වුට්ඨාපෙත්වා: උපසම්පදා කරවා.
ද්වෙ වස්සානි: අවුරුදු දෙකක්.
නෙව අනුග්ගණ්හෙය්ය: තමා විසින් පාඩම් දීමෙන් (උද්දේශය), ප්‍රශ්න විමසීම්වලට පිළිතුරු දීමෙන් (පරිපුච්ඡා), අවවාදයෙන්, අනුශාසනයෙන් කිසිසේත් අනුග්‍රහ නොකරයි.
න අනුග්ගණ්හාපෙය්ය: අන් අයෙකුට අණ නොකරයි. “අවුරුදු දෙකක් කිසිසේත් අනුග්‍රහ නොකරන්නෙමි, අන් අයෙකු ලවා අනුග්‍රහ නොකරවන්නෙමි” යි වගකීම බැහැර කළ (ධුරනික්‍ෂේපය කළ) විගස පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: අනතුරක් ඇති විට, සොයා නොලබයි නම්, ගිලන් වූ භික්ෂුණියට, ආපදා අවස්ථාවල ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය යි.
4. 7. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට (පවත්තිනී) අවුරුදු දෙකක් උවටැන් නොකරති. ඔවුහු නොදන්නෝ, අදක්ෂයෝ වෙති. කැප දේ හෝ නොකැප දේ හෝ නොදනිති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීන් සිටියේ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකළෝ ද?” කියා. -පෙ- “මහණෙනි, භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකරති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු තමන් උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකළෝ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් තමා උපසම්පදා කරවූ උපාධ්‍යාය භික්ෂුණියට අවුරුදු දෙකක් උවටැන් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
2. යා පන: යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.