4. 6. 2.
දෙවන ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා නුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් කප්පිතක (දහසක් ජටිලයන් අතර සිටි) තෙරුන් වහන්සේ සොහොනෙහි වාසය කරති. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂුණීන් (සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ භික්ෂුණීන්) අතර මහ තෙර වූ භික්ෂුණිය කලුරිය කළාය. ෂඩ්වර්ගික භික්ෂුණීන් ඒ භික්ෂුණියගේ සිරුර ගෙන ගොස් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට නුදුරින් දවා, ස්තූපයක් කොට, ගොස් ඒ ස්තූපය ළඟ හඬති. එවිට ආයුෂ්මත් කප්පිතක තෙරුන් ඒ ශබ්දයෙන් පීඩාවට පත් වී ඒ ස්තූපය බිඳ විසුරුවා හැරියහ. ෂඩ්වර්ගික භික්ෂුණීන් “මේ කප්පිතකයා අපගේ ආර්යාවගේ ස්තූපය බින්දේය. එබැවින් ඔහු මරා දමමු” යි සාකච්ඡා කළහ. එක්තරා භික්ෂුණියක් ආයුෂ්මත් උපාලි තෙරුන්ට මේ කරුණ දැන්වූවාය. ආයුෂ්මත් උපාලි තෙරුන් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ට මේ කරුණ දැන්වූහ. එවිට ආයුෂ්මත් කප්පිතක තෙරුන් විහාරයෙන් නික්ම සැඟවී සිටියහ. ඉක්බිති ෂඩ්වර්ගික භික්ෂුණීන් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරය වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරය ගල්වලින් ද කැටවලින් ද වසා දමා, “කප්පිතක මැරුණේය” යි සිතා පිටත්ව ගියහ.
2. ඉක්බිති ආයුෂ්මත් කප්පිතක තෙරුන් ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා, පාත්‍රය හා සිවුර ගෙන විශාලා නුවරට පිණ්ඩපාතය සඳහා ඇතුළු වූහ. ෂඩ්වර්ගික භික්ෂුණීන් පිණ්ඩපාතය සඳහා හැසිරෙන ආයුෂ්මත් කප්පිතක තෙරුන් දැක මෙසේ කීහ: “මේ කප්පිතක ජීවත්ව සිටියි. අපගේ රහස් සාකච්ඡාව (ඔහු වෙත) ගෙන ගියේ කවරෙක් ද?” ෂඩ්වර්ගික භික්ෂුණීන් “ආර්ය උපාලි තෙරුන් අපගේ රහස් සාකච්ඡාව ගෙන ගියේය” යි අසා දැනගත්හ. ඔවුහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්‍රෝශ කළහ (බැණ වැදුණහ): “කෙසේ නම් කහවත් කඩක් හැඳ සිටින, නහවන කම් කළ, කිලිටි හරින, පහත් කුලයක උපන් මේ තැනැත්තා අපගේ රහස් සාකච්ඡාව ගෙන යන්නේ ද?”
3. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීන් ආර්ය උපාලි තෙරුන්ට ආක්‍රෝශ කරන්නාහු ද?” -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීන් උපාලිට ආක්‍රෝශ කරති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: -පෙ- “මහණෙනි, කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීන් උපාලිට ආක්‍රෝශ කරන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් භික්ෂුවකට ආක්‍රෝශ කරයි නම් හෝ බිය ගන්වයි නම් හෝ පාචිත්තිය වේ.”
4. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුං: උපසම්පදාව ලත් භික්ෂුවකට.
අක්කෝසෙය්ය වා: ආක්‍රෝශ කිරීමේ කරුණු දහයෙන් හෝ ඒවායින් එකකින් හෝ ආක්‍රෝශ කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
පරිභාසෙය්ය වා: බිය ගන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලත් කෙනෙකු ගැන උපසම්පදාව ලත් කෙනෙකු බව හඟිමින් ආක්‍රෝශ කරයි නම් හෝ බිය ගන්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන සැකය ඇතිව ආක්‍රෝශ කරයි නම් හෝ බිය ගන්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන උපසම්පදාව නොලත් කෙනෙකු බව හඟිමින් ආක්‍රෝශ කරයි නම් හෝ බිය ගන්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව නොලත් කෙනෙකුට ආක්‍රෝශ කරයි නම් හෝ බිය ගන්වයි නම් හෝ දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන උපසම්පදාව ලත් කෙනෙකු බව හඟියි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන සැකය ඇත්නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන උපසම්පදාව නොලත් කෙනෙකු බව හඟියි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: අර්ථය පෙරදැරි කොට කියන භික්ෂුණියට ද, ධර්මය පෙරදැරි කොට කියන භික්ෂුණියට ද, අනුශාසනාව (අවවාදය) පෙරදැරි කොට කියන භික්ෂුණියට ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය යි.
4. 6. 3.
තුන්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ චණ්ඩකාළී භික්ෂුණිය රණ්ඩු කරන, කලහ කරන, වාද විවාද කරන, නිකරුණේ කතා කරන, සංඝයා අතර නඩු හබ (අධිකරණ) ඇති කරන කෙනෙක් වූවාය. ඇයට විරුද්ධව සංඝ කර්මයක් කරන විට ථුල්ලනන්දා භික්ෂුණිය එයට විරුද්ධව කරුණු කියයි. ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා ගමකට ගියාය. එවිට භික්ෂුණී සංඝයා “ථුල්ලනන්දා භික්ෂුණිය ගමකට ගොස් ඇත” කියා, චණ්ඩකාළී භික්ෂුණිය තමන් කළ ඇවැත නොදකින බැවින් ඇයට නෙරපීමේ කර්මය (උක්ඛේපනීය කර්මය) කළහ. ථුල්ලනන්දා භික්ෂුණිය ගමේ දී ඒ අවශ්‍ය කටයුත්ත නිම කොට නැවත සැවැත් නුවරට ආපසු පැමිණියාය. චණ්ඩකාළී භික්ෂුණිය, පැමිණෙන ථුල්ලනන්දා භික්ෂුණියට අසුනක් පැනවූයේ නැත. පා සේදීමට වතුර ද, සේදූ පා තබන පුටුව ද, නොසේදූ පා තබන පුටුව ද ගෙනැවිත් තැබුවේ නැත. ඉදිරියට ගොස් පාත්‍රය සිවුර පිළිගත්තේ නැත. පැන් බොන්නදැයි ඇසුවේ නැත. ථුල්ලනන්දා භික්ෂුණිය චණ්ඩකාළී භික්ෂුණියට මෙසේ කීවාය: