4. 6. 1.
පළමු ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු ගම්බද ආවාසයක එක් සිවුරක් පමණක් ඇතිව සිවුරු කම් (සිවුරු මැසීම) කරති. භික්ෂුණීහු අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වී ඒ භික්ෂූන් වෙත පැමිණියහ. භික්ෂූහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “භික්ෂුණීහු කෙසේ නම් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වන්නෝ ද?” යි -පෙ- “මහණෙනි, භික්ෂුණීහු අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණීහු කෙසේ නම් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වන්නෝ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙයි නම් පාචිත්තිය වේ” යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.
2. එකල්හි ඒ භික්ෂූහු ඒ ආවාසයෙන් පිටත්ව ගියහ. භික්ෂුණීහු ‘ආර්යයන් වහන්සේලා පිටත්ව ගියහ’ යි සිතා ආරාමයට නොපැමිණියහ. ඉන්පසු ඒ භික්ෂූහු නැවතත් ඒ ආවාසයට ආපසු ආහ. භික්ෂුණීහු ‘ආර්යයන් වහන්සේලා පැමිණියහ’ යි අවසර විචාරා ආරාමයට ඇතුළු වී ඒ භික්ෂූන් වෙත පැමිණියහ; පැමිණ ඒ භික්ෂූන්ට වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි ඒ භික්ෂුණීන්ට ඒ භික්ෂූහු මෙසේ කීහ: “නැගණියෙනි, ඔබ කුමක් නිසා ආරාමය අතුගා පිරිසිදු නොකළහු ද? පානයට වතුර හා පරිභෝජනයට වතුර නොතැබුවහු ද?” “ආර්යයන් වහන්ස, ‘අවසර නොවිචාරා ආරාමයට ඇතුළු නොවිය යුතුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදයක් පනවා තිබේ. එනිසා අපි නොපැමිණියෙමු” යි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ -පෙ- “මහණෙනි, (එහි) සිටින භික්ෂුවකගෙන් අවසර විචාරා ආරාමයට ඇතුළු වීමට අනුමත කරමි. මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් (එහි) සිටින භික්ෂුවකගෙන් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙයි නම් පාචිත්තිය වේ” යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.
3. එකල්හි ඒ භික්ෂූහු ඒ ආවාසයෙන් පිටත්ව ගොස් නැවතත් ඒ ආවාසයට ම ආපසු ආහ. භික්ෂුණීහු ‘ආර්යයන් වහන්සේලා පිටත්ව ගියහ’ යි සිතා අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වූහ. ඒ භික්ෂුණීන්ට සැකයක් (කුකුසක්) ඇති විය: “‘(එහි) සිටින භික්ෂුවකගෙන් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු නොවිය යුතුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදයක් පනවා තිබේ. අපි වනාහි (එහි) සිටින භික්ෂුවකගෙන් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වූයෙමු. කිම, අපි පාචිත්තිය ඇවැතට පැමිණියෙමු ද?” යි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් දැන දැන ම භික්ෂූන් සිටින ආරාමයකට අවසර නොවිචාරා ඇතුළු වෙයි නම් පාචිත්තිය වේ” යි.
4. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
දැන දැන නම්: තමා ම හෝ දනී, අන් අය හෝ ඇයට දන්වති, ඒ භික්ෂූහු හෝ දන්වති.
භික්ෂූන් සිටින ආරාමය නම්: යම් තැනක භික්ෂූහු ගසක් මුල වුව ද වාසය කරත් ද, ඒ ආරාමය යි.
අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙයි නම්: භික්ෂුවකගෙන් හෝ සාමණේරයකුගෙන් හෝ ආරාමිකයකුගෙන් (ආරාම සේවකයකුගෙන්) හෝ අවසර නොවිචාරා, වට කොට ඇති ආරාමයක වැට හෝ තාප්පය ඉක්මවන්නියට පාචිත්තිය ඇවැත් වේ. වට කොට නැති ආරාමයක අවට සීමාවට (උපචාරයට) ඇතුළු වන්නියට පාචිත්තිය ඇවැත් වේ.
භික්ෂූන් සිටින ආරාමයක භික්ෂූන් සිටින බව හඟිමින්, (එහි) සිටින භික්ෂුවකගෙන් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙයි නම් පාචිත්තිය ඇවැත් වේ. භික්ෂූන් සිටින ආරාමයක (භික්ෂූන් සිටිත් ද නැද්ද යන) සැකය ඇතිව, (එහි) සිටින භික්ෂුවකගෙන් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙයි නම් දුක්කට ඇවැත් වේ. භික්ෂූන් සිටින ආරාමයක භික්ෂූන් නැති බව හඟිමින්, (එහි) සිටින භික්ෂුවකගෙන් අවසර නොවිචාරා ආරාමයට ඇතුළු වෙයි නම් ඇවැත් නැත.
භික්ෂූන් නැති ආරාමයක භික්ෂූන් සිටින බව හඟිමින් ඇතුළු වෙයි නම් දුක්කට ඇවැත් වේ. භික්ෂූන් නැති ආරාමයක (භික්ෂූන් සිටිත් ද නැද්ද යන) සැකය ඇතිව ඇතුළු වෙයි නම් දුක්කට ඇවැත් වේ. භික්ෂූන් නැති ආරාමයක භික්ෂූන් නැති බව හඟිමින් ඇතුළු වෙයි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: සිටින භික්ෂුවකගෙන් අවසර විචාරා ඇතුළු වෙයි නම්, භික්ෂුවක් නැති විට අවසර නොවිචාරා ඇතුළු වෙයි නම්, හිස අනුව බලමින් (පළමුව ඇතුළු වන භික්ෂුණීන්ගේ හිස බලමින් ඔවුන් පසුපසින්) යයි නම්, යම් තැනක භික්ෂුණීන් රැස් වී සිටිත් ද එතැනට යයි නම්, ආරාමය හරහා මඟ වැටී ඇත්නම්, ගිලන් භික්ෂුණියට ද, ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමු ශික්ෂාපදය යි.