4. 5. 4.
හතරවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයෙහි භික්ෂුණීහු ගිහියන්ට වතාවත් කරති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීන් ගිහියන්ට වතාවත් කරන්නේ ද?” කියායි. -පෙ- “මහණෙනි, භික්ෂුණීන් ගිහියන්ට වතාවත් කරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීන් ගිහියන්ට වතාවත් කරන්නේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිහියන්ට වතාවත් කරයි නම් පාචිත්තිය වේ.”
2. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ගිහීවෙය්‍යාවච්ච (ගිහියන්ට වතාවත් කිරීම) නම්: ගිහියකුට කැඳක් හෝ බතක් හෝ කෑ යුතු දෙයක් හෝ පිසියි නම්, සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සෝදයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: කැඳ දානයේදී (සංඝයා උදෙසා මිනිසුන් කරන කැඳ දානයේදී උදව් වශයෙන්), සංඝයාට දෙන බත් දානයේදී, චෛත්‍ය පූජාවේදී, තමාට වතාවත් කරන්නාට කැඳක් හෝ බතක් හෝ කෑ යුතු දෙයක් හෝ පිසියි නම්, සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සෝදයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවන ශික්ෂාපදය යි.
4. 5. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල එක්තරා භික්ෂුණියක් ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් “ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය (සංඝයා විසින් විසඳිය යුතු ආරවුල) සංසිඳුවන්න” යි කීවා ය. ථුල්ලනන්දා භික්ෂුණිය “හොඳයි” යි පොරොන්දු වී එය සංසිඳුවන්නේ ම නැත. සංසිඳුවීම පිණිස උත්සාහයක් ද නොකරයි. එවිට ඒ භික්ෂුණිය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආර්යා ථුල්ලනන්දා, භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී කෙසේ නම් එය සංසිඳුවන්නේ ම නැද්ද? සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරන්නේ ද?” -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය, භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී එය සංසිඳුවන්නේ ම නැති බවත්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරන බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය, භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී කෙසේ නම් එය සංසිඳුවන්නේ ම නැද්ද? සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරන්නේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක්, වෙනත් භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී, පසුව කිසි අනතුරක් නැතිව සිටිය දී, එය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම්, ඇයට පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුනියා: වෙනත් භික්ෂුණියක විසින්.
අධිකරණ නම්: විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්තාධිකරණය, කිච්චාධිකරණය යන අධිකරණ හතරකි.
එහය්‍යෙ ඉමං අධිකරණං වූපසමෙහි: ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය විනිශ්චය කරන්න.
සා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.
නේව වූපසමෙය්‍ය: තමා ම එය නොසංසිඳුවයි.
න වූපසමාය උස්සුක්කං කරෙය්‍ය: වෙනත් කෙනෙකුට (එය සංසිඳුවන්නට) අණ නොකරයි. “සංසිඳුවන්නේ ම නැත, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරමි” යි වගකීම අත්හළ විගස ම පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලත් භික්ෂුණියක ගැන, ඇය උපසම්පදාව ලත් අයෙකැයි හඟිමින් අධිකරණය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් භික්ෂුණියක ගැන සැකයෙන් සිට අධිකරණය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් භික්ෂුණියක ගැන, ඇය උපසම්පදාව නොලත් අයෙකැයි හඟිමින් අධිකරණය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ.